Skip links

TISL ආයතනය මගින් සිදු කරන “සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම” (TRAC): පළමු ස්ථානය සමාගම් පහක් අතර බෙදී යයි.

සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධයෙන් පූර්ණ ලකුණු ලබා ගනිමින් මෙවර සමාගම් පහක් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත. පෙර වසරේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී සහ ටීජේ ලංකා පීඑල්සී යන සමාගම් මෙවර ද පළමු ස්ථානයේ රැඳී සිටින අතර, ලංකා දුම්කොළ සමාගම, ඩයලොග් ආසියාටා පීඑල්සී සහ දිල්මා සිලෝන් ටී යන සමාගම්ද මෙවර පළමු ස්ථානයට තේරී පත්ව ඇත. මෙම ඇගයීමේ ක්‍රියාවලියට අනුව සමාගම් 27ක් දෙවැනි කාණ්ඩයට ඇතුළත්ව තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) 2020 වසරේ සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම (TRAC) ආරම්භ කළ අතර එතැන් සිට එය වාර්ෂිකව සිදු කරයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තු ගත, ප්‍රමුඛතම පොදු සමාගම් 125 (2023 ජුලි 5 වන දිනට කොළඹ කොටස් වෙළඳපොළ දත්ත මත පදනම්ව) මෙම වසරේ ඇගයීම්කරණයට ඇතුළත් විය.

අද දින (2024 පෙබරවාරි 15) නිකුත් කළ TRAC 2023 වාර්තාවට ඇතුළත් වන සියලුම සමාගම් සමස්තයක් ලෙස සැළකූ විට, 2022 වසරට සාපේක්ෂව සමාගම් වාර්තාකරණයේ යම් වර්ධනයක් පෙන්නුම් කරඇති බව (ලකුණුවල සාමාන්‍යය අගය 5.85/10) දැක්විය හැක.

TRAC 2023 වාර්තාව හරහා ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් දූෂණයට එරෙහිව සටන් කිරීමට ගත් පියවර මෙන්ම දූෂණය වැළැක්වීමට තීරණාත්මක වන ක්ෂේත්‍රයන්ට අදාළ වන තොරතුරු හෙළිදරව් කිරීමේ පිළිවෙත් පිළිබඳව තක්සේරු කර ඇත. එනම්, දූෂණ විරෝධී වැඩසටහන්, ආයතනික විනිවිදභාවය පවත්වා ගැනීම, දේශීය මූල්‍ය වාර්තාකරණය, ස්ත්‍රී පුරුෂ භාවය සහ වෙනස් කොට සැලකීම් නොකිරීමේ ප්‍රතිපත්ති පිළිබඳ වාර්තා කිරීම, රටින් රටට අදාළ වාර්තා වෙනමම දැක්වීම, රජයේ කොන්ත්‍රාත්/ටෙන්ඩර් සම්බන්ධ ප්‍රසම්පාදනයන් පිළිබඳ වාර්තා කිරීම යනාදී ක්ෂේත්‍ර මෙම ඇගයීමේදී සළකා බලන ලදී.

සමාගම් වල ප්‍රසිද්ධ කළ ඇති තොරතුරු මත පදනම්ව මෙම ඇගයීම සිදු කර ඇත. ඒ අනුව, සමාගම්වල තොරතුරු අනාවරණයේ මට්ටම අනුව 0 සිට 10 දක්වා ලකුණු ලබා දෙමින් (10 ඉහළම ලකුණු සහ 0 අඩුම ලකුණු) සියලු සමාගම් කාණ්ඩ හයකට වෙන්කර ඇත. “පූර්ණ විනිවිදභාවයක්, සැලකිය යුතු විනිවිදභාවයක්, මධ්‍යස්ථ විනිවිදභාවයක්, අර්ධ වශයෙන් විනිවිදභාවයක්, අඩු විනිවිදභාවයක් සහ අවම විනිවිදභාවයක්” පෙන්නුම් කරන ලෙස මෙම කාණ්ඩ හැදින්විය හැක. මූලික ලකුණු ගණනයෙන් පසු සමාගම්වලට ඔවුන්ගේ ලකුණු පිළිබඳ ප්‍රතිපෝෂණ ලබා දීමට අවස්ථාව ලබා දෙන ලදී.

TRAC ඇගයීමේ ඉහළ ලකුණුලාභීන්ට අපි සුබ පතන අතරම, TRAC වාර්තාව මගින් සමාගම් සිය ආයතනික තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් පෙන්නුම් කරන විනිවිදභාවය පමණක් ඇගයීමට ලක්කරන අතර, ඒවායේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති හෝ වැඩසටහන් සත්‍ය ලෙස ක්‍රියාත්මක වන්නේදැයි TISL ආයතනය ඇගයීම් කර නැති බව මතක් කර සිටිමු. එබැවින්, අඩු ලකුණු ප්‍රමාණයක් ගත් පමණින් යම් සමාගමකට ශක්තිමත් දූෂණ විරෝධී වැඩසටහන් නොමැති බව හෝ සමාගමේ පාර්ශවයෙන් කිසියම් වරදක් ඇති බව අදහස් නොවේ. එසේම, යම් සමාගමක් ඉහළ ලකුණු ගත් පමණින් එහි දූෂණ-විරෝධී වැඩසටහන් සාර්ථකත්ව ක්‍රියාත්මක වන බව පිළිබිඹු නොවේ. එහෙත් එම සමාගම්වල දූෂණ විරෝධය, ආයතනික විනිවිදභාවය, දේශීය මූල්‍ය වාර්තාකරණය සහ ස්ත්‍රී පුරුෂ භාවය සහ අසාධාරණ ලෙස නොසැලකීම පිළිබඳ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු අනාවරණය කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයන් පවතින බව කිව හැකිය.

TRAC ඇගයීම වරින් වර සිදු කිරීම මගින් ව්‍යාපාර කටයුතුවල සුපිළිපන්නභාවය සහ විනිවිදභාවය වැඩිදියුණු කර ගැනීමට සමාගම් දිරිමත් වනු ඇති බව TISL ආයතනයේ අපේක්ෂාවයි. මෙම ඇගයීමේ වැදගත්ම පරමාර්ථය වන්නේ දූෂණ විරෝධී භාවිතයන් අන්තර්ග්‍රහණය කර ගැනීමටත් එම තොරතුරු ප්‍රසිද්ධියේ ලබා දීමටත් සමාගම් පෙළඹවීමයි.

අප රටේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ පැතිරී ඇති දූෂණයද බරපතළ ප්‍රශ්නයක් වේ. පෞද්ගලික අංශයේ පාර්ශව බොහෝ විට රාජ්‍ය අංශයේ මහපරිමාණ දූෂණ ක්‍රියාවන් සඳහා නිහඬ හවුල්කරුවන් හෝ දායකයින් ලෙස කටයුතු කරනු දැකිය හැකිය. 2023 වසරේ අලුතින් හඳුන්වා දුන් දූෂණ විරෝධී පනත යටතේ, පුද්ගලික අංශයේ අල්ලස් ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා ඇත. එපමණක් නොව, ලැයිස්තුගත සමාගම් අකටයුතුනාදකයින් (whistle-blower) පිළිබඳ ප්‍රතිපත්ති සහ අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කිරීම සහ එම ප්‍රතිපත්ති පිළිබඳ හෙළිදරව් කිරීම අවශ්‍ය බව දක්වමින් මෑතකදී කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමේ රීති සංශෝධනය කර ඇත.

“TRAC ඇගයීම හරහා ශ්‍රී ලංකාවේ සියලුම මහා පරිමාණ දූෂණ සිදුවීම්වලට විසඳුම් නොලැබෙන බව අපි දනිමු. TISL ආයතනය විවිධ ප්‍රවේශයන් ඔස්සේ දූෂණ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. පර්යේෂණ හා නඩු කටයුතු, අල්ලස් සහ දූෂණ විරෝධී පුහුණු වැඩසටහන් සහ වෙනත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඒ අතර වේ. එසේ වුවද, ආයතනික විනිවිදභාවය පවත්වා ගැනීම දූෂණ අවදානම අවම කිරීම සඳහා සමාගම්වලට ගත හැකි එක් වැදගත් පියවරක් ලෙස අපි දකිමු,” TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා පැවසුවාය.

“නව නියාමන ප්‍රමිතීන්ට අනුකූල වීමට සමාගම් කැපවිය යුතු අතර, අවම ප්‍රමිතීන්ට වඩා ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ස්වයං නියාමනයක් පවත්වා ගැනීම වැදගත් වේ. එම නිසා, සමාගම් තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් පෙන්නුම් කරන විනිවිදභාවය වරින් වර ඇගයීම මගින් එම සමාගම්වලට ඔවුන්ගේ ප්‍රතිපත්ති නිරතුරුව සමාලෝචනය කිරීමට සහ තොරතුරු අනාවරණය වැඩිදියුණු කර ගැනීමට උත්තේජනයක් සපයනු ඇති බව අපගේ විශ්වාසයයි,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

Full Report: www.tisrilanka.org/wp-content/uploads/2024/02/TRAC-2023.pdf

Leave a comment

This website uses cookies to improve your web experience.