අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් (DG) ලෙස ඩබ්ලිව්. කණිෂ්ක ඩී. විජේරත්න පත් කිරීම අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම (SC FR 110/2024) විභාග කිරීමට අවසර දෙන්නේදැයි තීරණය කිරීම සඳහා 2024 ඔක්තෝබර් 07 දින තවත් පෙත්සම් දෙකක් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවනු ලැබීය.
පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටින පරිදි පෙත්සම විභාග කර අවසන් වන තෙක් විජේරත්න මහතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් ලබාදීමට එකඟ බවත්, නඩුව ඉදිරියට ගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ අවසර දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, විජේරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ, එවැනි අතුරු නියෝගයක් වෙනුවට සිය ධුරයෙන් එදින පස්වරු 3 වන විට ඉල්ලා අස්වීමට කටයුතු කරන බවයි. මෙයට පෙත්සම්කරුවෝ එකඟත්වය පළ කළහ. යම් හෙයකින් එකඟ වූ පරිදි ඉල්ලා අස් නොවුනහොත් එම ධුරය එදින පස්වරු 3 සිට පුරප්පාඩු වන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
2020 ජනවාරි මාසයේ සිට CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ විජේරත්න මහතා, නව දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමෙන් පසු 2024 අප්‍රේල් 2 වන දින එම තනතුරට නැවත පත් කරන ලදී. මහජන සුබසිද්ධිය වෙනුවෙන් TISL ආයතනය ගොනු කළ පෙත්සමෙහි සඳහන් වන්නේ මෙවැනි පත්වීමක් සිදු කිරීමට අදාළ සියලුම සුදුසුකම් සහ නිර්ණායක මෙම අවස්ථාවේදී සපුරා නොමැති බවයි. එම පත්වීම දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට පටහැනි බවත්, එහිදී සුපිළිපන් සහ විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටියක් අනුගමනය කර නොමැති බවත් එහි තවදුරටත් දක්වා ඇත.
නීතියට අනුව, නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශයක් ඉදිරිපත් කළ හැකි බව අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදිනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි. නඩුව 2025 ජනවාරි 15 වැනි දින යළි කැඳවීමට නියමිතය.
TISL ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න පෙනී සිටි අතර, CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත එගලහේවා පෙනී සිටියේය.
පෙත්සම පිළිබඳ වැඩිදුර විස්තර: https://www.tisrilanka.org/transparency-international-sri-lanka-challenges-the-appointment-of-ciaboc-director-general-in-supreme-court/