2024 මහ මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ නිරීක්ෂණ කටයුතු සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) රට පුරා මැතිවරණ නිරීක්ෂකයින් 160 දෙනෙකුගේ කණ්ඩායමක් යොදවා නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. ඔක්තෝබර් 14 වැනිදා සිට TISL ආයතනය වෙත පැමිණිලි 70ක් ලැබී ඇති අතර, රාජ්‍ය ආයතනවල සිදු කරන ලද නව පත්වීම්වලට අදාළ පැමිණිලි බොහෝ ගණනක් මේ අතර ඇත.
“නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයෙකු මධ්‍යම පළාතේ තනතුරකට පත්කිරීම සම්බන්ධයෙන් අපිට තොරතුරු ලැබී තිබෙනවා. අපි මේ පිළිබඳව මැතිවරණ කොමිසමට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නව පාලක පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී රාජ්‍ය සම්පත් අවභාවිත කරන්නේදැයි අපි සමීපව නිරීක්ෂණය කරනවා. අන්තර්වාර රජය විසින් නව ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සභාපතිවරුන් පත් කරනු ලැබුවා. එයින් ඇතැමෙක්ට යම් යම් දේශපාලන බැඳියාවන් තිබිය හැකියි. නමුත්, පොදු දේපළවල භාරකරුවන් ලෙස මැතිවරණ නීතිවලට ගරු කරමින් කටයුතු කරන ලෙස අපි ඔවුන්ට විශේෂයෙන් මතක් කරනවා. පසුගිය මැතිවරණයේ දී ආණ්ඩුකාරවරුන් දේශපාලන අරමුණු සඳහා බලය සහ වාහන අවභාවිත කරන ආකාරය අපි දිගින් දිගටම නිරීක්ෂණය කළා,” TISL ආයතනයේ රාජ්‍ය සම්පත් සුරැකීමේ වැඩසටහනෙහි ජාතික සම්බන්ධීකාරක තුෂානි කන්දිල්පාන ඊයේ (ඔක්තෝබර් 23) නාවල TISL පරිශ්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසුවාය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ පැමිණිලි 117ක් TISL ආයතනය වෙත ලැබුණු බවත්, වාර්තා කිරීමෙන් පසුව ඉන් 40කට අධික සංඛ්‍යාවක් මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ බවත් ඇය සඳහන් කළාය.
පසුගිය ජනාධිපතිවරණයේදී TISL ආයතනය වෙත රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පැමිණිලි 1,000කට වැඩි ප්‍රමාණයක් ලැබුණු අතර, ඉන් සමහරක් පිළිබඳ තවදුරටත් පියවර ගැනෙමින් පවතියි. “උදාහරණ වශයෙන්, ජනාධිපතිවරණ සමයේදී සේවා අවශ්‍යතාවය ඉක්මවා 47 දෙනෙකු ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය වෙත බඳවා ගත්තා. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බලන ලෙස අපි නව රජය පත් වූ පසු කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා. ඊට නිසි පිළිතුරු නොලැබුණහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි පසුබට වන්නේ නැහැ,” කන්දිල්පාන පැහැදිලි කළාය.
මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතා වන අවස්ථාවන් පිළිබඳ සාක්ෂි සහිතව වාර්තා කරන ලෙස TISL ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු ගෞරිස්වරන් කිරුපයිරාජා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය. ඔබගේ පැමිණිලි ‘www.apesalli.lk’ යන වෙබ් අඩවිය හරහා හෝ 076 322 3442 ක්ෂණික ඇමතුම්/වට්සැප් අංකය හරහා හෝ 011 286 5777 ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැක. සත්‍යාපනය කරන ලද පැමිණිලි ඉදිරි ක්‍රියාමාර්ග සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කෙරේ.
TISL ආයතනය අනෙකුත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා එක්ව මහා මැතිවරණ කාල සීමාවේදී මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කර එම තොරතුරු ‘chandasallimeetare.lk’ හරහා ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව, TISL ආයතනයේ දේශපාලන අංශයේ වැඩසටහන් කළමනාකරු ශවීන්ද්‍ර සෙනරත් මෙහිදී නිවේදනය කළේය.