පසුගියදා අවසන් වූ ‘2024 ජනාධිපතිවරණය’ නිරීක්ෂණය සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහභාගී වූයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමිනි. ඉතා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස අපි ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් සියලුම අනුබද්ධ සේවා සපයන්නන් හට ප්‍රසංශාව පළ කර සිටිමු.
මෙවර ජනාධිපතිවරණය විශේෂ වීමට කරුණු කිහිපයක් බලපෑවේය. 2022 වසරේ උග්‍ර වූ ආර්ථික අර්බුදයත් සමඟ සිදු වූ ජනතා අරගලයෙන් පසු පැවැති පළමු මැතිවරණය මෙයයි. 2023 වසරේ හඳුන්වා දුන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක වියදම් සොයා බැලෙන පළමු මැතිවරණය වූයේ ද මෙයයි. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණයකදී දෙවැනි සහ තුන්වැනි මනාප ගණන් කිරීම අවශ්‍ය වූයේද මෙවරයි.
ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා TISL ආයතනය මැතිවරණ නිරීක්ෂකයින් දෙසිය දෙදෙනෙක් (202) සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යෙදවූ අතර, මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා කිරීම සඳහා තවත් නිරීක්ෂකයින් 47 දෙනෙකු යෙදවීය. මැතිවරණ දිනයට පෙර, TISL ආයතනය වෙත ලැබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව 1,126ක් වන අතර, ඒවායින් පැමිණිලි 650ක් පමණ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලදී. වැඩිම පැමිණිලි සංඛ්‍යාව (451) වාර්තා වූයේ මහජන ක්‍රීඩාංගන, රජයේ කාර්යාල, ගොඩනැගිලි සහ පාසල් වැනි පොදු පරිශ්‍රයන් අවභාවිතය සම්බන්ධයෙනි.
TISL ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු නිරීක්ෂකයින් 244ක් මැතිවරණ දින නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වූහ. මැතිවරණයට අදාළව බරපතල ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වාර්තා නොවූ අතර, TISL ආයතනයේ නිරීක්ෂකයින් විසින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 112 ක් මැතිවරණ දිනයේදී වාර්තා කර තිබුණි. ඒවායින් බොහොමයක් නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ සුළු සිද්ධීන් විය. පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය, පොදු දේපළ අවභාවිතය ආදී වූ මෙම නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව පොලිසියට හා ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන්ට වාර්තා කළ අතර ඒවා නිවැරදි කිරීමට අදාළ බලධාරීන් විසින් කඩිනම් පියවර ගන්නා ලදී.
ඡන්දදායකයින් සිය ඡන්දය භාවිත කිරීම ඉහළ මට්ටමක (මැතිවරණ කොමිසමේ ඇස්තමේන්තු අනුව 75%ත් 80%ත් අතර) පැවැතීම ප්‍රශංසනීය වේ. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය කෙරෙහි ඡන්දදායකයින්ගේ ඇති උද්යෝගය සහ විශ්වාසය පෙන්නුම් කරන්නකි.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් හා මැතිවරණ කාලසීමාව පුරාවට සාමකාමීව හැසිරීම තුළින් සිය ප්‍රජාතන්ත්‍රවාදී යුතුකම ඉටු කළ සෑම පුරවැසියෙකුටම TISL ආයතනයේ කෘතඥතාව හිමිවේ. TISL ආයතනයේ නිරීක්ෂණය වනුයේ ජනාධිපතිවරණ දිනය සන්සුන් මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ බවයි.