Skip links

ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම

ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL), ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ වෙරිටේ රිසර්ච් ආයතනය සමඟ එක්ව එක්දින පුහුණු වැඩමුළුවක් පසුගිය අඟහරුවාදා (ජනවාරි 16, 2024) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රේඛීය අමාත්‍යාංශ 27ක් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් 100 දෙනෙක් පමණ මෙම වැඩසටහනට සහභාගී වූහ. මෙම වැඩසටහනේ අරමුණ වූයේ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනතට අනුව ප්‍රගාමීව තොරතුරු හෙළි කිරීමේ අවශ්‍යතාවය රාජ්‍ය නිලධාරීන්ට පැහැදිලි කිරීමයි.

පවතින නීතියට අනුව ප්‍රගාමීව හෙළිදරව් කළ යුතු තොරතුරු වර්ග, ඒ සඳහා භාවිත කළ හැකි මාධ්‍යයන්, එසේ කිරීම තුළින් මහජනතාවට සහ බලධාරීන්ට ලැබෙන ප්‍රයෝජන, සහ අමාත්‍යාංශ මගින් පවත්වා ගෙන යන වෙබ් අඩවි RTI නීතියට අනුකූල වන පරිදි වැඩිදියුණු කළ හැකි ආකාරය ආදිය පැමිණ සිටි පිරිස සමඟ සාකච්ඡා කරන ලදී.

රාජ්‍ය ආයතන වල තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් වන අඩුපාඩු මෙහිදී අවධානයට ලක් විය. ඒ සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය මගින් 2023 වසරේ සම්පාදිත “ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ප්‍රගාමී තොරතුරු අනාවරණය” යන වාර්තාව පදනම් කර ගන්නා ලදී. වැඩසටහනෙහි විෂයගත කරුණු සම්බන්ධයෙන් සහභාගිවූවන්ට ඇති ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සහ, ඔවුන්ට ‍යම් අමතර සහයක් අවශ්‍ය නම් ජනමාධ්‍ය අමාත්‍යාංශය, TISL ආයතනය සහ වෙරිටේ රිසර්ච් ආයතනය වෙතින් එය ඉල්ලා සිටීමට ද අවස්ථාව ලැබුනි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ආර්. ඒ. පියතිස්ස රණසිංහ, TISL ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා සංඛිතා ගුණරත්න සහ වෙරිටේ රිසර්ච් ආයතනයේ සන්නිවේදන කළමනාකාර කෝවිද ගුණසේකර විසින් මෙම පුහුණු වැඩමුළුව මෙහෙයවන ලදී.

Leave a comment

This website uses cookies to improve your web experience.