Skip links

හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් වන නඩුවෙහි යාවත්කාලීන කරන ලද තොරතුරු (SCFR/99/2024)

හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සාමාන්‍ය ජනතාවට මුහුණ පෑමට සිදු වූ බරපතල තත්ත්වය අවධාරණය කරමින්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව (SCFR/99/2024) ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය 2024 නොවැම්බර් 4 වන දින අවසර ලබා දෙන ලදී.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පහත සඳහන් අතුරු නියෝග ද නිකුත් කරන ලදී.

  • ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ පනතෙහි 109 වැනි වගන්තිය (හදිසි මිලදී ගැනිමකදී) ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතනයක් අදහස් කරන අවස්ථාවන්හිදී අදාළ කර ගත යුතු නව මාර්ගෝපදේශ මාලාවක් සති තුනක් (03) ඇතුළත සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට (NPC) නියම කරන ලදී. 109 වැනි වගන්තිය ක්‍රියාත්මක කළ යුතු වන්නේ මෙම නව මාර්ගෝපදේශයන්ට දැඩි ලෙස අනුකූල වන පරිදි බව ද අධිකරණය කියා සිටියේය.
  • විගණකාධිපතිවරයා විසින් පරීක්ෂා කර විගණකාධිපතිවරයා සහ නීතිපතිවරයා විසින් අනුමත කරනු ලැබුවහොත් මිස, තවමත් ගෙවීම් නොකළ කිසිදු ඖෂධ සැපයුම්කරුවෙකුට ගෙවීම් නොකළ යුතුය.
  • පෙත්සමෙන් මතු කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කරන අපරාධ පරීක්ෂණ අවශ්‍ය යැයි හැඟේ නම් පුළුල් කරන ලෙසත්, එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට සහ නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ විමර්ශන කොට්ඨාසයට (CID) නියම කරන ලදී.
  • පෙත්සමේ දක්වා ඇති දූෂණ චෝදනා 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව විමර්ශනය කර මාස හයක් (06) ඇතුළත අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) නියම කරන ලදී. පනත යටතේ වැරදි සිදු කර ඇති බව CIABOC විමර්ශනවලින් තහවුරු වන්නේ නම්, ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස තවදුරටත් උපදෙස් දෙන ලදී.

 

හිටපු අමාත්‍ය මණ්ඩලයෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත යුතු බව කරුණු දක්වන අවස්ථාවේදී අධිකරණය නිරීක්ෂණය කළේය.

ගරු විනිසුරුවන් වන ජනාධිපති නීතිඥ එස්.තුරෙයිරාජා, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාගයට ගැනිණි.

TISL ආයතනය වෙනුවෙන් ලසන්තිකා හෙට්ටිආරච්චි සහ නිෂාදි වික්‍රමසිංහ සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනානි දයාරත්න පෙනී සිටියේය.

Leave a comment

This website uses cookies to improve your web experience.