ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාව සැප්තැම්බර් 13 වන බදාදා දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.
සමාජ-දේශපාලනික සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් පවතින මෙම තීරණාත්මක අවස්ථාව සැළකිල්ලට ගනිමින්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා ආයතනය සහ තවත් සිවිල් සමාජ සංවිධාන වන නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්), විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සර්වෝදය, වෙරිටේ රිසර්ච් ආයතනය සහ ජාතික සාම මණ්ඩලය එක්වී “ආර්ථික ප්‍රගමනය උදෙසා වූ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ පිළිබඳ සිවිල් සමාජ එකතුව” පිහිටුවන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම විශ්ලේෂණ වාර්තාව නිකුත් කරන ලද අතර මෙහි අරමුණ, ආර්ථික ප්‍රගමනය සඳහා අවශ්‍ය වන දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ පිළිබඳ දේශීය යෝජනාවලියක්, රටේ පවතින සන්දර්භයට ගැලපෙන අයුරින් රජයේ මැදිහත්වීමකින් තොරව ස්වාධීනව ඉදිරිපත් කිරීමයි.
මෙම වාර්තාවෙන් රට තුළ වර්තමානයේ පවතින අර්බුදය විසඳා ගැනීමට දූෂණ විරෝධී රාමුවෙන් වැදගත් වන නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත. මහජන මතය සහ ආර්ථික යහපාලනය පිළිබඳ අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් කරන ලද මෙම වාර්තාව හරහා රට තුල දූෂණ ක්‍රියා මැඩපැවැත්වීමට මූලිකව ආමන්ත්‍රණය කළ යුතු කරුණු ප්‍රමුඛ කොට දක්වා ඇත.
විශ්ලේෂණ වාර්තාව සැකසීමේදී රටේ බොහෝ අංශ සහ ප්‍රදේශ මෙන්ම, වාර්ගික, ආගමික සහ සංස්කෘතික කණ්ඩායම් නියෝජනය වන පරිදි, පුද්ගලයන් 250 කට වැඩි පිරිසකගේ අදහස් ලබා ගන්නා ලදී. “ආර්ථික ප්‍රගමනය උදෙසා වූ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ පිළිබඳ සිවිල් සමාජ එකතුව” වෙනුවෙන් පර්යේෂණය මෙහෙයවීම ඉහළ පිළිගැනීමක් සහිත පර්යේෂකයෙකු වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් සිදු කරන ලදී.
රජය විසින් යෝජනා කර ඇති සහ දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රතිසංස්කරණ හරහා, මෙම ආර්ථික අර්බුදයට පැහැදිලිව වගකිව යුතු පුද්ගලයින්ට අත නොතබා තිබීම සහ ආර්ථික අර්බුදයේ අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්නන් බවට සාමාන්‍ය ජනතාව පත් කර, ඔවුන් මත දිගටම බර පැටවීමත් හේතුවෙන්, මහජනතාව තුළ ආර්ථික අසාධාරණය පිළිබඳ හැඟීම ත්‍රීව ඇති බව වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.
“ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මුල් බැස ගත් මූලික ප්‍රශ්නය වී ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය පුරා ව්‍යාප්තව ඇති දූෂණයයි. මේ නිසා රාජ්‍ය ආයතන වලට සිය වගකීම් නිවැරදිව ඉටු කිරීමට නොහැකි වන අයුරින් ශ්‍රී ලංකාව රාජ්‍ය ග්‍රහණයකට හසු වීමේ අවදානමකට මුහුණ දී ඇත,” යනුවෙන්ද වාර්තාවේ තවදුරටත් දක්වා ඇත.
ශ්‍රී ලංකාව තුළ දූෂණය ව්‍යාප්ත වීමේදී දැකිය හැකි ප්‍රධාන අධි අවදානම් උපක්‍රම ලෙස රටේ වගවීමේ යාන්ත්‍රණය ව්‍යූහාත්මකව දුර්වල කිරීම, රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීම සහ ඔවුන්ගේ කාර්යයන්ට අනවශ්‍ය ලෙස මැදිහත් වීම, රාජ්‍ය ව්‍යවසාය අවභාවිත කිරීම, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි තමන්ට උවමනා ලෙස හැසිරවීම, සිවිල් සමාජය මර්දනය කිරීම, සහ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු ආදිය හඳුනා ගෙන ඇති බවද වාර්තාවේ පැහැදිලි කර ඇත.
මෙම එළිදැක්වීමේ උත්සවයට ප්‍රතිපත්ති සම්පාදකයින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්, රාජ්‍යතාන්ත්‍රිකයින්, ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතන, සිවිල් සමාජ සංවිධාන, විද්වතුන් ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
විශ්ලේෂණ වාර්තාවේ නිර්දේශ
ක්ෂණිකව ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ (මාස 0 – 6 අතර කාලයක් තුළ), කෙටි කාලීනව ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ (අවුරුද්දක් ඇතුලත) සහ මධ්‍ය කාලීනව ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ (අවුරුදු 2 ඇතුලත) වශයෙන් ක්‍රියාත්මක කළ යුතු රාජ්‍යකරණය පිළිබඳ ප්‍රධාන නිර්දේශ 34කින් මෙම වාර්තාව සමන්විත වේ.
‘පවත්නා ක්‍රමවේදයන්හි විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමේ පියවර, ‘සාර්ව දේශපාලන-ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීමේ පියවර සහ ‘ව්‍යූහාත්මක වෙනස්කම් සඳහා වන පියවර මෙම නිර්දේශ වල ඇතුලත් වේ.
ක්ෂණිකව ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ (මාස 0 – 6 අතර කාලයක් තුළ): පවත්නා ක්‍රිමවේදයන්හි විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමේ පියවර
- බදු නිදහස් කිරීම් සම්බන්ධ සියලු තොරතුරු හෙළිදරව් කරන මූල්‍ය විනිවිදභාවය පිලිබඳ වේදිකාවක් පවත්වාගෙන යාම.
- සෑම වසරකම මාර්තු 31 වනදා වන විට වාර්ෂික වාර්තාවක් ප්‍රකාශයට පත් කර, අනුමත අයවැයට සාපේක්ෂව පෙර වර්ෂයේ සිදු කළ වියදම් සහ වෙනස්කම් ඇත්නම් ඊට අදාල හේතු ඉදිරිපත් කිරීම.
- යෝජිත ආදායම් ක්‍රමවේදවල යම් වෙනසක් හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.1% ක හෝ ඊට ඉහල අඩු වීමක් සිදු විය හැකි නම් එම අහිමි වීම් වලට හේතු සඳහන් කරමින් ආදායම් වාර්තාවක් කාර්තුමය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම.
- විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන විගණන යෝජනා විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පසු විපරම් ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීම.
- රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත සුදුසු පරිදි සංශෝධනය කර, එහි සියලුම විධිවිධාන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම, සහ එම විධිවිධාන පිළිනොපදින්නේ නම් දඬුවම් ලැබෙන බව සහතික කිරීම.
- ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ සංවර්ධන කටයුතු (අභිමත වියදම්) සඳහා වන අයවැය ප්‍රතිපාදන මුළු වියදමෙන් 3% දක්වා සීමා කිරීම.
- විනිවිදභාවය සහ වගවීමේ ක්‍රමවේදයන් බලාත්මක කිරීම හරහා දේශපාලන නායකයින්ට සහ ජේෂ්ඨ නිලධාරීන්ට ලබා දෙන ප්‍රතිලාභ වලට අදාළ දූෂණය හා නාස්තිය අවම කිරීම.
- රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීමේ ගැටලුව ආමන්ත්‍රණය කිරීම.
- සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සියලුම ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලට අදාළ දත්ත, වෙළෙඳපොළෙන් පිටත විකිණීමේ සහ මිලදී ගැනීමේ අනුපාතයන් තක්සේරු කිරීමට ප්‍රමාණවත් විස්තර සහිතව (2019 දී ප්‍රකාශයට පත් කරන ලද EPF හි වෝහාරික විගණන මගින් විශ්ලේෂණය කළ පරිදි), ප්‍රකාශයට පත් කිරීම.
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රගාමී තොරතුරු හෙළි කිරීම යටතේ දක්වා ඇති පරිදි ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ඒවා ආරම්භ කිරීමට මාස තුනකට පෙර හෙළිදරව් කිරීම.
- රාජ්‍ය ණය පිළිබඳ යාවත්කාලීන කරන ලද සම්පූර්ණ තොරතුරු කාර්තුමය වශයෙන් ප්‍රකාශ කිරීම.
- මුළු වටිනාකම රුපියල් මිලියන 100 ඉක්මවන සියලු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ තොරතුරු මාර්ගගත ක්‍රමයට ප්‍රකාශයට පත් කිරීම.
- වත්කම් ප්‍රකාශන වලට මහජනතාවට ප්‍රවේශය ලබා දීම සඳහා දූෂණ විරෝධී පනතේ නීතිරාමුව අපක්ෂපාතීව ක්‍රියාත්මක වන බව සහතික කිරීම.
- ව්‍යවස්ථානුකූලව නියම කර ඇති කාල රාමුවට අනුකූලව ජාතික මැතිවරණ පැවැත්වීම.
- මැතිවරණ ප්‍රචාරක වියදම් හා සබැඳි නීති බලාත්මක කිරීම සහ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් පිහිටුවීම මගින් එම වැරදි අධීක්ෂණ කිරීම.
- විමර්ශන කිරීමට සහ නීතිය ඵලදායීව හා සමානව ක්‍රියාත්මක කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ඇති සූදානම ඉහළ නැංවීම.
- විනිවිදභාවය සහතික කිරීම සඳහා සියලු මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යපෘති සඳහා වන පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තා සම්බන්ධ සියලු ලේඛන මාර්ගගත ක්‍රමයට ප්‍රකාශයට පත් කිරීම.
- ප්‍රජාතන්ත්‍රවාදීව විසම්මුතිය සහ විරෝධතා දැක්වීම ඇතුළුව රාජ්‍යකරණයට පුරවැසි සහභාගීත්වය සුදුසු ආකාරයෙන්ම ලබා දීම සඳහා සිවිල් අවකාශය ආරක්ෂා කිරීම සහ තහවුරු කිරීම.
කෙටි කාලීනව ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ (අවුරුද්දක් ඇතුලත): සාර්ව දේශපාලන–ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීමේ පියවර
- පුද්ගල අභිමතය පරිදි අනුමත ක්‍රමයෙන් බැහැරව බදු ක්‍රමය වෙනස් කිරීම වැළැක්වීම සඳහා බදු සම්බන්ධ සියලු නීති සංශෝධනය කලයුතුය.
- ශ්‍රී ලංකාවද පාර්ශවකරුවෙකු වන දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතියේ (6 වැනි වගන්තිය) අපේක්ෂා කරන පරිදි මිල සහ බදු ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කලයුතුය.
- බදු නිදහස් කිරීම් වල වසර පහක සාමාන්‍ය අගයෙන් 10% ක් වාර්ෂිකව කපා හැරීම (1 වන නිර්දේශය හා බැඳේ).
- මහ බැංකුවට පරිබාහිරව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම.
- රාජ්‍ය ප්‍රසම්පාදන පිළිබඳ වඩා හොඳ අධීක්‍ෂණයක් සිදු කිරීම සඳහා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව බලගැන්වීම, සහ 2019 වසරේ සකස් කළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මහජන අදහස් විමසන ලදුව සම්මත කිරීම.
- තරඟකාරී ලංසු තැබීමේ අඩුම අනුපාතය (වටිනාකම) සහිත රාජ්‍ය අමාත්‍යාංශ/නියෝජිත ආයතන දහයක සහ රුපියල් බිලියන 10 කට වැඩි ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන පැවැත්වීම.
- බැඳියාවන් අතර ගැටුම් පිළිබඳ ලේඛනයක් ඕනෑම පුරවැසියකුට ප්‍රවේශ විය හැකි ලෙස මාර්ගගතව පවත්වා ගෙන යාම.
- රාජ්‍ය ව්‍යවසායන් විනිවිද භාවයෙන් හා වගකීමෙන් යුතුව කළමණාකරණය කිරීම සඳහා රෙගුලාසි පැනවීම.
- අඛණ්ඩතාව සහ වගවීම සඳහාත්, විශේෂයෙන් පාර්ලිමේන්තුව කල් තබන සෑම අවස්ථාවකම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA), පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රාජ්‍ය මුදල් කාරක සභාවෙ (COPF) ආදියෙහි කටයුතු කඩාකප්පල් වීම වැළැක්වීම සඳහාත්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම.
- ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර හමුදාව යෙදවීම අඩු කිරීම, සේවයෙන් නිදහස් කිරීමට පෙර හමුදා සාමාජිකයින්ට වෙනත් පුහුණු වීම් ලබා දීම, සහ පුද්ගලික සහ පොදු භාවිතය සඳහා ඇති රජයේ ඉඩම් ආපසු ලබා දීම ආදී ක්‍රියා මගින් සන්නද්ධ හමුදා සඳහා වන අනවශ්‍ය වියදම් අඩු කර ගැනීම.
- නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට අදාළ මුදල් හුවමාරුවීම්වල විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම.
- නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන් සම්බන්ධව නිසි අධීක්ෂණයක් පැවතීම සහ ඊට අදාළ නීතිය බලාත්මක කිරීම.
මධ්‍ය කාලීනව ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ (අවුරුදු 2 ඇතුලත): ව්‍යූහාත්මක වෙනස්කම් සඳහා වන පියවර
- දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට (UNCAC) අනුකූලව සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීම පිළිබඳ නීති පුළුල් මහජන අදහස් විමසීමක් සහිතව සම්මත කර ගැනීම, සහ සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීමේ වැඩසටහනෙහි (Stolen Asset Recovery Initiative) තාක්ෂණික සහාය ඇතිව, දැනටමත් ආරම්භ කර ඇති පරීක්ෂණ ඇතුළුව, දූෂණ පිළිබඳ ප්‍රධාන පරීක්ෂණවල ප්‍රගතිය සහතික කිරීම.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික මගපෙන්වීම සහිත විශේෂිත ස්වාධීන දූෂණ විමර්ශන කාර්යාලයක් පිහිටුවීම.
- මලයහ දෙමළ ප්‍රජාවට තමන්ගේම නිවාස තනා ගැනීමට එම ප්‍රදේශවල ඉඩම් වෙන් කර දීම, සහ වතුකරයේ කම්කරුවන්ට දෛනික ජීවන දීමනාවක් ලබා දීම (නිවාස හා ජීවනෝපාය පිළිබඳ අයිතිය).
- සිවිල් නියෝජිතයින් බහුතරයක් වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය සහ ව්‍යූහය වෙනස් කිරීම.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගයද ලබා ගෙන, මෙහි දක්වා ඇති ප්‍රධාන නිර්දේශයන්ට සද්භාවයෙන් යුතුව ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස මෙම වාර්තාව එළිදැක්වීමේ උත්සවයේදී සිවිල් සමාජ එකතුව විසින් ඉතා උවමනාවෙන් රජයෙන් ඉල්ලා සිටින ලදී.
සම්පූර්ණ වාර්තාව කියවන්න : https://www.tisrilanka.org/wp-content/uploads/2023/09/GDA_REPORT_2023.pdf