Skip links

වත්කම් ප්‍රකාශන මහජනතාවට විවෘත කිරීමේදී අත්‍යවශ්‍ය තොරතුරු ඉවත් නොකරන ලෙස TISL ආයතනය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් 100කට අධික පිරිසකගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් ඊටම වෙන්වූ වෙබ් පිටුවක ප්‍රසිද්ධ කර ඇත. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ස්ථාපිත කරන තෙක් වන අතරමැදි පියවරක් ලෙස මෙය සැලකිය හැකිය. විනිවිදභාවය වැඩි කිරීම සඳහා ගත් මෙම පියවර පිළිබඳ ප්‍රසාදය පළ කරන නමුත්, ප්‍රසිද්ධ කර ඇති තොරතුරු ප්‍රමාණය පිළිබඳව ගැටලු මතු වී තිබේ.

මෙම ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමේදී ඒවායේ අඩංගු වැදගත් තොරතුරු සැලකිය යුතු ප්‍රමාණයක් අත්තනෝමතික ලෙස සහ අනවශ්‍ය පරිදි ඉවත් කිරීම පිළිබඳව TISL ආයතනය සිය අප්‍රසාදය පළ කරයි. බැංකු ගිණුම්වල ශේෂයන් සහ එම ගිණුම් විවෘත කළ දිනයන් වැනි තොරතුරු මෙහිදී ඉවත් කොට ඇත. මේ නිසා මෙම ක්‍රියාදාමයහි විනිවිදභාවය සහ ඵලදායිතාව පිළිබඳ බරපතළ ගැටළු මතු වී ඇත.

දූෂණ විරෝධී පනතේ 88(1) වගන්තියට අනුව, වත්කම් ප්‍රකාශයන් ප්‍රසිද්ධ කිරීමේදී පහත සඳහන් නිශ්චිත තොරතුරු පමණක් සංස්කරණය මගින් ඉවත් කළ හැකිය.

අ. ප්‍රකාශකයාගේ හෝ ප්‍රකාශකයා විසින් ප්‍රකාශ කරන වත්කම් අයිති තැනැත්තාගේ පදිංචි ලිපිනය.

ආ. ඉඩකඩම් දේපළ පිහිටා ඇති කොට්ඨාසය සහ දිස්ත්‍රික්කයට අදාළ තොරතුරු හැර ප්‍රකාශිත ඉඩකඩම් දේපළවල සම්පූර්ණ ලිපිනය/ලිපිනයන්.

ඇ. ප්‍රකාශනයේ සඳහන් පුද්ගලයන් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ අදාළ අධිකාරිය විසින් පිළිගත් වෙනත් අංක.

ඈ. බැංකු ගිණුම් අංක; හෝ

ඉ. වෙනත් යම් තැන්පතු විස්තර

මෙම වගන්තිය ඉතා පුළුල් ලෙස අර්ථකථනය කර ගනිමින්, බැංකු ගිණුම් ශේෂයන් සහ දිනයන් වැනි තීරණාත්මක තොරතුරු ඉවත් කිරීම සඳහා අදාළ අධිකාරිය කටයුතු කර ඇත. මෙමගින් වත්කම් ප්‍රකාශනවලට මහජන ප්‍රවේශය ලබා දීමේ පරමාර්ථය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව පෙනේ.

ඉහත සඳහන් “වෙනත් යම් තැන්පතු විස්තර” යන්න මෙහිදී වැරදි ලෙස අර්ථකථනය කර ගෙන ඇති බව පෙනේ. එම ප්‍රතිපාදනයේ අරමුණ බැංකු ගිණුම් නොවන ‘වෙනත්’ තැන්පතු වර්ග ඇතුළත් කිරීමයි. බැංකු ගිණුම් ශේෂයන් ඉවත් කිරීමට නීතිය මගින් අදහස් කළේ නම්, 88(1)(ඈ) වගන්තිය මගින්ම ‘බැංකු ගිණුම් ශේෂයන් සහ අංක’ ලෙස දක්වා එය කළ හැකිව තිබුනි.

පනතේ ප්‍රතිපාදන වලට එලෙස වැරදි අර්ථකථනයක් ලබා දීම වත්කම් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ සහ ඒවාට මහජන ප්‍රවේශය ලබා දීමේ අරමුණ පරාජය කරයි. මේ ආකාරයෙන් රාජ්‍ය නිලධාරීන් සහ වගකිවයුතු ආයතන විසින් නීතිය මඟ හැරීම සඳහා සිදුරක් නිර්මාණය කිරීම ගැටළු සහගත වේ. දූෂණ විරෝධී නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අල්ලස් කොමිසමෙහි ඇති කැපවීම පිළිබඳ අවිශ්වාසයක් මෙමගින් ඇති කරයි.

තවද, දූෂණ විරෝධී පනත අනුව සංස්කරණය කොට ප්‍රසිද්ධ කර ඇති වත්කම් ප්‍රකාශන ඉල්ලා සිටින පුද්ගලයන්ගේ අනන්‍යතාව අල්ලස් කොමිසම මගින් තහවුරු කර ගත යුතු වේ. නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය ලබා ගැනීම හරහා මෙය සිදු කළ හැකි වුවත්, ඊට අමතරව ඊමේල් ලිපිනය දැක්වීම ද අල්ලස් කොමිසම විසින් අනිවාර්ය කර ඇත. එසේ ඊමේල් ලිපිනය අනිවාර්ය කිරීම අනවශ්‍ය බව TISL ආයතනයේ හැඟීමයි. එය සැලකිය යුතු පිරිසකට වත්කම් ප්‍රකාශන වලට ඇති ප්‍රවේශය සීමා කරන අමතර බාධකයක් ලෙස ගත හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ද වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කිරීම නිර්දේශ කර තිබූ අතර එය රජය මගින් සකස් කළ ක්‍රියාකාරී සැලැස්මේ අංගයකි. එහි එක් අරමුණක් නම් රාජ්‍ය නිලධාරීන් සිදු කළ හැකි අසාධාරණ ලෙස ධනය ඉපැයීම් නිරීක්ෂණය කිරීමට හැකි වන අයුරින් මහජනතාව බලගැන්වීමයි. අනවශ්‍ය ප්‍රමාණයට තොරතුරු සංස්කරණය කොට ඉවත් කිරීම හරහා අල්ලස් කොමිසම මෙම අරමුණ යටපත් කරයි.

මෙම ප්‍රකාශන වලට මහජන ප්‍රවේශය ලබා දීමේ ක්‍රියාවලිය අර්ථවත් වීමට නම් ඒවා ප්‍රසිද්ධ කිරීමට පෙර ඉවත් කරන තොරතුරු පිළිබඳව නැවත සලකා බලන ලෙස TISL ආයතනය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි. මේ ක්‍රියාවලියේදී රාජ්‍ය නිලධාරීන් පුරවැසියන්ට වගවන තත්ත්වයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන වැදගත් තොරතුරු ප්‍රමාණවත් පරිදි ලබා දීම අත්‍යවශ්‍ය වේ. මහජනතාවට ප්‍රවේශය දී ඇති වත්කම් ප්‍රකාශයන්හි ඇතුළත් තොරතුරු අපරාධ වලින් උපයාගත් දේපළ සහ ප්‍රතිලාභී හිමිකරු පිළිබඳ හඳුන්වා දීමට නියමිත නීතින් ක්‍රියාත්මක කිරීමේදී ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා ඉහත ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම අවශ්‍ය වේ.

Leave a comment

This website uses cookies to improve your web experience.