මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) වෙත 2024 සැප්තැම්බර් 11 වැනි දින වන විට පැමිණිලි 758ක් ලැබී ඇත. ඒ අතුරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව (343) වාර්තා වන්නේ පොදු පරිශ්‍රයන් අවභාවිතය සම්බන්ධයෙනි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොදු ක්‍රීඩාංගණ, රජයේ කාර්යාල, ගොඩනැගිලි සහ පාසල් ආදිය අවභාවිත කිරීම ඊට ඇතුළත් ය. එවැනි පරිශ්‍රයන් අදාළ ගාස්තු නොගෙවා භාවිත කළ අවස්ථා, එක් අපේක්ෂකයකුට හෝ දේශපාලන පක්ෂයකට දීර්ඝ කාලයක් වෙන් කර තිබූ අවස්ථා, මැතිවරණ නීති වලට පටහැනිව පෝස්ටර් සහ කටවුට්වලින් එම ස්ථාන සරසා ඇති අවස්ථා එම පැමිණිලිවල දක්වා ඇත.
මීළගට වැඩිම පැමිණිලි වාර්තා වී ඇත්තේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන්, ඔවුන්ගේ කුසලතා, දැනුම සහ වැඩ කරන වේලාව අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙනි. එම සංඛ්‍යාව 117ක් වේ. සීමිත දේශපාලන අයිතිවාසිකම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් දේශපාලන පක්‍ෂ හෝ අපේක්‍ෂකයන් වෙනුවෙන් භෞතිකව සහ සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරීව ප්‍රචාරක කටයුතුවල නිරත වන බවට සාක්ෂි සහිත වාර්තා TISL ආයතනය වෙත ලැබී ඇත.
TISL ආයතනය වෙත ලැබුණු අනෙක් පැමිණිලි පහත පරිදි දැක්විය හැක.
- ආහාර, මුදල් සහ අනෙකුත් සහනාධාර බෙදා හැරීම සම්බන්ධ පැමිණිලි 45 ක්,
- රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 32ක්,
- මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන්ගේ උසස්වීම්, තනතුර පහත හෙලීම හෝ ස්ථාන මාරු කිරීම් සම්බන්ධ පැමිණිලි 7ක්,
- මැතිවරණ ප්‍රචාරක කාර්යාල ආශ්‍රිත නිති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 30ක්,
- රාජ්‍ය අනුග්‍රහය ලබන සංවර්ධන ව්‍යාපෘති මැතිවරණ වාසි සඳහා යොදා ගැනීම, සහ ජීවනෝපාය ආධාර සහ දීමනා බෙදා හැරීම සම්බන්ධ පැමිණිලි 26ක්,
- දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා මහජන මුදල් අවභාවිතය සම්බන්ධ පැමිණිලි 26ක්, සහ
- රජයේ තනතුරු හෝ බලය අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ පැමිණිලි 14ක්,
ලෙස ඒවා කාණ්ඩ ගත කළ හැක.
දිස්ත්‍රික්ක අනුව සංඛ්‍යා විශ්ලේෂණය කිරීමේදී, වැඩිම පැමිණිලි සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කෑගල්ලෙන් වන අතර එය සංඛ්‍යාත්මකව 186කි. කොළඹ සහ ගාල්ලෙන් පිළිවෙළින් පැමිණිලි 71ක් සහ 51ක් ලැබී ඇත. අඩුම පැමිණිලි අම්පාරෙන් (පැමිණිලි 2ක්) වාර්තා වී ඇති අතර කුරුණෑගල සහ මුලතිව් දිස්ත්‍රික්ක වලින්ද ලැබී ඇත්තේ පිළිවෙළින් පැමිණිලි 6ක් සහ 7ක් වේ.
රට පුරා යොදවා ඇති 200 ක් පමණ වූ මැතිවරණ නිරීක්ෂකයින් සහ ‘apesalli.lk’ යන වෙබ් අඩවිය හරහා මෙම පැමිණිලි අප වෙත ලැබුණි. සත්‍යාපනය කිරීමෙන් පසුව, මෙම පැමිණිලි බොහොමයක් මැතිවරණ කොමිසම වෙත යොමු කරන ලද අතර, කොමිසම මැදිහත් වී ඉන් සමහරක් වැළැක්වීමට පියවර ගන්නා ලදී.