Skip links

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ 32(3) සහ 32(4) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (2024 ජූලි 2) තීන්දු කළේය. එබැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළහොත් හැර නීතියක් බවට පත් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙයි.

පනත් කෙටුම්පතේ 32 වැනි වගන්තිය මගින් රාජ්‍ය ප්‍රසම්පාදනය හා සම්බන්ධ අධීක්ෂණ කටයුතු බරපතළ ලෙස දුර්වල කරන බවත්, එමගින් දූෂණ අවදානම ඉහළ නංවා සම අවස්ථාව අහිමි කරන බවත් පෙන්වා දෙමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලදී.

රාජ්‍ය ව්‍යවසායන්ට ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලින් බැහැර වීමේ අවසරය මුදල් අමාත්‍යවරයාට සිය අභිමතය පරිදි ලබා දීමට හැකි වන පරිදි සකසා තිබූ 32 (3) වගන්තිය සහ එක් එක් පළාත් සභාවට ඔවුන්ට අවශ්‍ය පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකසා ගැනීමට අවසර ලබා දුන් 32 (4) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 12(1) යන ව්‍යවස්ථාවන් උල්ලංඝනය වන බව අධිකරණය තීන්දු කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වීමට නම්, 32(3) වගන්තිය “ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට අවශ්‍ය යැයි හැඟේ නම්, රජය සතු ව්‍යවසායන් සඳහා නිශ්චිත මාර්ගෝපදේශ සකස් කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ හැකිය,” ලෙස සංශෝධනය කරන ලෙස අධිකරණය යෝජනා කර ඇත.

“ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට අවශ්‍ය යැයි හැඟේ නම්, පළාත් සභා සඳහා නිශ්චිත මාර්ගෝපදේශ සකස් කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ හැකිය,” යනුවෙන් 32(4) වගන්තිය සංශෝධනය කිරීමටද අධිකරණය යෝජනා කර ඇත.

Leave a comment

This website uses cookies to improve your web experience.