Skip links

රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක්

      

ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණ ගැටලු සහ ඒවා තිරසාර ලෙස විසඳීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගිය දා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පවත්වන ලදී.

ප්‍රමුඛ පෙළේ සිවිල් සමාජ සංවිධාන කිහිපයක සහයෝගය ඇතිව මීට මාස කිහිපයකට පෙර එළිදැක්වූ ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව මෙම සාකච්ඡාවට පාදක විය. මෙම රැස්වීමට සම්බන්ධ වූවන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), එක්සත් ජාතික පක්ෂය (UNP), සමගි ජන බලවේගය (SJB), ජාතික ජන බලවේගය (NPP), ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) යන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසාර ලෙස ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති සහ රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, පැමිණ සිටි පිරිස එම යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔවුන්ට ඇති ගැටලු සහ විසම්මුතික අදහස් ඉදිරිපත් කිරීමට ද එම අවස්ථාව උපයෝගී කර ගත්හ.

වාර්තාවේ ඉදිරිපත් කර ඇති එක් එක් නිර්දේශයන්ට මූලික වූ සන්දර්භය සහ හේතු විස්තර කරමින්, TISL ආයතනය එම නිර්දේශයන් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙම රැස්වීමේදී අවධාරණය කරන ලදී.

වාර්තාව පිළිබඳ දළ විශ්ලේෂණයක් සමඟින් TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා ආරම්භක අදහස් දැක්වීම සිදු කළාය. TISL ආයතනයේ උද්දේශන සහ පර්යේෂණ කළමනාකරු ලසන්තිකා හෙට්ටිආරච්චි විසින් රාජ්‍යකරණය, වගවීම, ණය සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධ නිර්දේශ පැහැදිලි කරන ලදී. එමෙන්ම, දේශපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී සුලක්ෂි මඩවල විසින් විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදය, සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධ නිර්දේශ පිළිබඳ සාකච්ඡාව මෙහෙයවන ලදී.

Leave a comment

This website uses cookies to improve your web experience.