යෝජිත පුත්තලම ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතියට අදාළව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව (SLCC) වෙත නැගෙන දූෂණ, අක්‍රමිකතා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධ චෝදනා විමර්ශනය කරන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ජූලි 19 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කරන ලදී. එම පැමිණිල්ලට ප්‍රතිචාර වශයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙතින් ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලා ඇත.
අරුවක්කාලු ප්‍රදේශයේ ඛනිජ වැලි නිස්සාරණය කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පසුගිය වසරේ එක්තරා පෞද්ගලික සමාගමක් සමඟ වසර 30ක ගිවිසුමකට එළඹ ඇත. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය නොකර, තරඟකාරී ලංසු තැබීමකින් හෝ අදාළ බලධාරීන්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමකින් තොරව එකී ගිවිසුමට එළඹී ඇති බවට නැගෙන චෝදනා පිළිබඳව TISL ආයතනය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
රුපියල් 1,000ක නාමික කොටස් ප්‍රාග්ධනයක් ඇති එකී සමාගමේ අයිතිය තනි පුද්ගලයකු සතු බවත්, එයට ඛනිජ වැලි කර්මාන්තය පිළිබඳ තාක්ෂණික සුදුසුකම් හෝ පළපුරුද්ද නොමැති බවත් අනාවරණය වේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැතිකම හේතුවෙන් එක් පාර්ශවයකට විශේෂ කොට සැලකීම සහ දූෂණ අවදානම් පිළිබඳ සැක මතු වන බවත්, එමගින් ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන බවත්, TISL ආයතනය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මේ අතර, TISL ආයතනය වෙත විශ්වාසදායක ලෙස දැන ගැනීමට ලැබී ඇති පරිදි, පුත්තලම ඉල්මනයිට් ලිමිටඩ් (PIL) නම් වෙනත් සමාගමක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ දශකයකට ආසන්න කාලයක් මෙම ස්ථානයේ ක්‍රමානුකූල ගවේෂණ සිදු කර ඇත. 1992 පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට අනුකූලව, PIL සමාගම මෙම ප්‍රදේශයෙන් ලබා ගන්නා ඛනිජ වැලි වාණිජ අරමුණු සඳහා යොදා ගැනීමට තනි හිමිකම ලබා ගැනීමේ නීත්‍යානුකූල අපේක්ෂාවෙන් පසු වන බව TISL ආයතනයට දන්වා ඇත.
ඉඩම් අයිතිය සහ ඛනිජ ද්‍රව්‍ය හිමිකම අතර පැහැදිලි වෙනසක් ඇත. ඛනිජ සම්බන්ධයෙන් නියාමන අධිකාරිය ලෙස කටයුතු කරන GSMB ආයතනයේ කාර්යභාරය SLCC විසින් මෙහිදී හෑල්ලූවට ලක් කර ඇති බව පෙනේ. ඊට අමතරව, මතභේදයට තුඩු දී ඇති ව්‍යාපෘති භූමිය, 1993 දී ‘සියම් සිටි සිමෙන්ට්’ ලංකා (පුද්ගලික) සමාගමට වසර 50 කට බදු දී ඇත.
ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ ඛනිජ සැකසුම් අංශයට මෙතෙක් සිදු කරන විශාලතම සෘජු විදේශ ආයෝජනය (FDI) සැලසුම් කරමින් සිටි බව PIL සමාගම කියා සිටියි. PIL සමාගමේ අගය එකතු කළ සැකසුම් එම ව්‍යාපෘතියේ ආයෝජකයෙකු වන Fortune 500 කාණ්ඩයේ සමාගමකට අලෙවි කිරීම හරහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආදායමක් බලාපොරොත්තු වේ. මීට අමතරව, මෙම ආයෝජනය මගින් ආරක්‍ෂාව සහ තිරසාරභාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පවතින යහපත් භාවිතයන් අනුගමනය කරමින්, රට තුළ ඇති අඩු තත්ත්වයේ ඛනිජ ද්‍රව්‍ය සැකසීමට හැකිවන පරිදි නව කාර්මික තාක්‍ෂණයන් හඳුන්වා දීමට හැකි වනු ඇතැයි PIL සමාගම කියා සිටියි. PIL සමාගම පුරෝකථනය කරන්නේ මේ තුළින් 400 අධික රැකියා අවස්ථාවන් නිර්මාණය වනු ඇති බවත්, එළුවන්කුලම සහ පුත්තලම ප්‍රදේශයන්හි වෙසෙන පුද්ගලයින්ගේ තාක්ෂණික කුසලතා මේ තුළින් වර්ධනය වනු ඇති බවත්ය.
එබැවින්, SLCC සහ මුලින් සඳහන් කළ පෞද්ගලික සමාගම අතර ඇතිකරගත් ගිවිසුම හේතුවෙන්, පසුගිය වසර කිහිපය තුළ, රටට අත්‍යවශ්‍ය විදේශ මුදල් ඩොලර් මිලියන 300ක් පමණ අහිමි වී ඇතැයි ගණන් බලා තිබේ. ඒ, කර්තෘභාග සහ බදුවලින් ලැබෙන ආදායමට අමතරවයි. අපනයන විවිධාංගීකරණය වීමේ අවස්ථාව ද මේ නිසා අහිමි වේ. තවද, ආයෝජන මණ්ඩලය සහ GSMB වැනි ව්‍යාපෘති අනුමත කරන ආයතන කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීමට මෙය හේතු විය හැක.
චෝදනා කර ඇති පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නොසලකා හැරීම සහ අදාළ ආයතන විසින් නියමිත ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම හේතුවෙන් රටේ ස්වභාවික සම්පත්, ආර්ථිකය සහ ජනතාව කෙරෙහි තදබල සෘණාත්මක ප්‍රතිවිපාක ඇති කරන බව TISL ආයතනය අවධාරණය කරයි.
එබැවින්, මහජන යහපත සඳහා මේ සම්බන්ධයෙන් සිය බලතල භාවිතා කර පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස TISL ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් (CIABOC) ඉල්ලා සිටියි. මෙම ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතියේ විනිවිදභාවය සහ වගවීම තහවුරු කරන ලෙසත්, එය ශ්‍රී ලාංකීය ජනතාවට වැඩිම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාවට නංවන ලෙසත්, TISL ආයතනය රජයෙන් ඉල්ලා සිටියි.