ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සඳහා වන ඉලෙක්ට්‍රොනික සංචාරක වීසා ක්‍රමය හැසිරවීම VF Worldwide Holdings LTD (VFS Global) සහ GBS Technology Services & IVS Global FZCO (IVS-GBS) යන සමාගම් වලට පැවරීම අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (පෙත්සම් අංකය- SCFR 221/2024) සහ තවත් පෙත්සම්කරුවන් හත් දෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් (පෙත්සම් අංක- SCFR 203/2024, 204/2024, 205/ 2024, 218/2024, 219/2024, 222/2024, 223/2024) සළකා බලමින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය 2024 අගෝස්තු 2 වන දින අවසර ලබා දුන්නේය.
පෙත්සම් අංක SCFR 203/2024, 204/2024, 205/2024 යන පෙත්සම්වලින් ඉල්ලා සිටි පරිදි අධිකරණය පහත අතුරු තහනම් නියෝග ලබා දුන්නේය.
* VFS Global සහ IVS-GBS වෙත ඉලෙක්ට්‍රොනික් වීසා සේවාව ප්‍රදානය කිරීමේ යෝජනාවට අනුමැතිය ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීරණය සහ එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්.
* බාහිර සේවා ලබා ගැනීමට VFS Global සහ IVS-GBS සමඟ ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ එහි බලපෑම අත්හිටුවමින් අතුරු නියෝගයක්.
* වගඋත්තරකරුවන්, ඔවුන්ගේ සේවකයන් සහ නියෝජිතයින් සහ ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු බාහිර සේවා ලබා ගැනීමේ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කිරීම/හෝ ඊට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් වළක්වන අතුරු නියෝගයක්.
* 2024 අප්‍රේල් 16 වන දිනට පැවති තත්ත්වය (නව ඉලෙක්ට්‍රොනික සංචාරක වීසා ක්‍රමය හඳුන්වා දීමට පෙර පැවැති තත්ත්වය) නැවත ක්‍රියාත්මක කිරීමට සියලු පියවර ගන්නා ලෙස 1 සිට 25 දක්වා මෙන්ම 27 සහ 28 වැනි වගඋත්තරකරුවන්ට (ආගමන හා විගමන පාලක ජනරාල්, කැබිනට් අමාත්‍ය මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, මොබිටෙල් සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම) නියෝග කරන අතුරු නියෝගයක්.
මෙම පෙත්සම් පිළිබඳ අවසන් තීරණය ලැබෙන තෙක් ඉහත අතුරු නියෝග සියල්ල බලපැවැත්වේ.
ඔක්තෝම්බර් මාසයේදී නඩුව විභාග කිරීමට නියමිතයි.