Skip links

තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනත යටතේ TISL ආයතනය අදානි සුළං විදුලි බල ව්‍යාපෘතියෙහි තොරතුරු විමසයි

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සම්බන්ධ වී මන්නාරම සහ පුනරින් ආශ්‍රිතව සිදු කිරීමට නියමිත සුළං විදුලි බල ව්‍යාපෘතියෙහි විනිවිදභාවය, නීත්‍යානුකූලභාවය, ඇගයීම් ක්‍රියාවලිය, මිල නියම කිරීම, රජයේ මැදිහත්වීම සහ පාරිසරික බලපෑම් ඇගයීම (EIA) යනාදිය සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් අදාළ රාජ්‍ය ආයතන වෙත තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනත යටතේ තොරතුරු ඉල්ලුම්පත් රැසක් පසුගියදා ගොනු කරන ලදී.

සීමාසහිත අදානි ග්‍රීන් එනර්ජි (ශ්‍රී ලංකා) සමාගම වෙත මෙගා වොට් 250ක සහ මෙගා වොට් 234ක ධාරිතාවයෙන් යුතු සුළං බලාගාර දෙකක් මන්නාරම සහ පුනරීන් ප්‍රදේශ වල ඉදි කිරීම සඳහා මේ වසර මුලදී තාවකාලික අනුමැතිය ලබා දී ඇත. බරපතල ආර්ථික හා පාරිසරික ගැටළු වලට තුඩු දිය හැකි යැයි සැක කරන මෙම ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රමාණවත් විනිවිදභාවයක් නොමැති වීම පිළිබඳව TISL ආයතනය දැඩි අවධානය යොමු කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ඉදිරි වසර 20 පුරාවට සුළං බලයෙන් නිපදවන කිලෝවොට් ඒකකයකට ඇමෙරිකානු ශත 8.26ක ස්ථාවර මිලක් (පවතින විදේශ විනිමය අනුපාතිකය අනුව ශ්‍රී ලංකා රුපියල්වලින්) ගෙවීමට සිදුවන බව පසුගියදා වාර්තා විය. මීට අදාළ යෝජනාව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව 2024 මැයි 6 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෙම මිලත් සුළං බලයෙන් නිපදවන විදුලි ඒකකයක වත්මන් ගෝලීය මිලත් අතර විශාල වෙනසක් පවතියි. ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ආයතනයේ (International Renewable Energy Agency – IRENA) සංඛ්‍යාලේඛනවලට අනුව, 2010 සිට 2022 දක්වා කාලය තුළ, වෙරළබඩ සුළං බලශක්තිය සඳහා ගෝලීය බරිත-සාමාන්‍ය විදුලි පිරිවැය (the global weighted-average levelised cost of electricity) කිලෝවොට් එකකට ඇමෙරිකානු ශත 8 සිට ඇමෙරිකානු ශත 3 දක්වා 56% කින් පහත වැටී ඇත.

මීට අමතරව, ලෝකයේ වැදගත් සංක්‍රමණික පක්ෂි කොරිඩෝවක් ලෙස සැළකෙන මන්නාරම ප්‍රදේශයේ පිහිටුවීමට නියමිත සුළං ටර්බයින හේතුවෙන් නැවත හැරවිය නොහැකි පාරිසරික හානියක් සිදුවන බවට ජ්‍යෙෂ්ඨ පරිසරවේදීන් අනතුරු අඟවා තිබේ. ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියේ විශ්වසනීයත්වය පිළිබඳව ද චෝදනා එල්ල වී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, TISL ආයතනය විසින් අමාත්‍ය මණ්ඩලය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ සංචාරක සහ ඉඩම් අමාත්‍යංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ තොරතුරු ඉල්ලුම් පත් 11ක් යොමු කරමින් ව්‍යාපෘතියට අදාළ පහත සඳහන් මූලික තොරතුරු ඉල්ලා සිටින ලදී.

 

  1. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ නීත්‍යානුකූලභාවය: ශ්‍රී ලංකා රජය ටෙන්ඩර් කැඳවූයේද යන්න සහ ලැබුණු සියලුම ලංසු/යෝජනා භාරගත්තේද යන්න.
  2. ඇගයීම සහ තෝරා ගැනීමේ ක්‍රියාවලිය: සීමාසහිත අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමට භාවිතා කරන ලද නිර්ණායක, ටෙන්ඩර් ඇගයීමට සහ ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින්, මෙම සුළං බල ව්‍යාපෘතිය රජයන් දෙකක් අතර ගනුදෙනුවක්ද යන්න, සහ ඉන්දියානු රජයට අයත් නොවන පුද්ගලික සමාගමක් වන සීමාසහිත අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත මෙම ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමේ පදනම.
  3. මිල තීන්දු කිරීම, පිරිවැය සහ ප්‍රතිලාභ: ශ්‍රී ලංකාවට බලශක්ති ප්‍රතිලාභ සහ පිරිවැය ප්‍රතිලාභ පෙන්නුම් කරන ලියකියවිලි, වෙළඳපොළ මිලට වඩා වැඩි මිලකට ව්‍යාපෘතිය හරහා ලබා ගන්නා සුළං විදුලි ඒකකයකට ගෙවීම සාධාරණීකරණය කළ හැකිද යන්න.
  4. අවශ්‍යතාවයන් සහ අවදානම තක්සේරු කිරීම: ව්‍යාපෘතිය සඳහා සිදු කරන ලද අවශ්‍යතා තක්සේරුව සහ අවදානම් තත්ත්ව තක්සේරුව පිළිබඳ විමසීම්, සහ ඇති විය හැකි අවදානම් තත්ත්ව අවම කිරීමේ ක්‍රම.
  5. තීරණ ගැනීමේ ක්‍රියාවලිය: නොකැඳවූ යෝජනා (unsolicited proposals) සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම, ආයෝජන යෝජනා සඳහා වන ඉල්ලීම්වලට (Request for Proposals) යැවූ ප්‍රතිචාර, සීමාසහිත අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය, සහ ඊට අදාළ සියලුම ලියකියවිලි, සන්නිවේදනයන්, විශ්ලේෂණ හෝ ඇගයීම් වාර්තාවල සහතික කළ පිටපත්
  6. පාරිසරික බලපෑම් ඇගයීම (EIA): පාරිසරික බලපෑම් ඇගයීම මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරිය කරන ලද විශ්ලේෂණය සහ ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමට ගත් තීරණය පිළිබඳ විස්තරාත්මක ලේඛන.
  7. ඉඩම් අත්පත් කර ගැනීම: ව්‍යාපෘතිය සඳහා මන්නාරම සහ පුනරින් ප්‍රදේශ වල ඉඩම් අත්පත් කර ගැනීම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේද, ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ දක්වා ඇති ක්‍රියා පටිපාටිය නිසි ලෙස අනුගමනය කර තිබේද, අත්පත් කර ගැනීම සඳහා අනුමත ඉඩම්වල පිහිටීම, ප්‍රමාණය සහ සීමා නිර්ණය විස්තර කරන ලියකියවිලි.

මෙම තොරතුරු ඉල්ලුම්පත් බොහොමයකට මෙතෙක් සම්පූර්ණ සහ කාලීන ප්‍රතිචාර නොලැබුණු බැවින් TISL ආයතනය අදාළ ආයතන වල නම් කළ නිලධාරීන් වෙත අභියාචනා කිරීමේ මීළඟ පියවරට යොමු විය.

මෙම තීරණාත්මක ව්‍යාපෘතියේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු විසඳීමටත් කැපවන ලෙස අප රටේ සම්පත්වල භාරකරුවන් ලෙස සැළකෙන රජයෙන් TISL ආයතනය ඉල්ලා සිටියි.

Leave a comment

This website uses cookies to improve your web experience.