මැතිවරණ නීතිවලට පටහැනි ආකාරයෙන් යාපනයේ පිහිටි තල් සංවර්ධන මණ්ඩලයේ මෑත කාලීනව සිදු කරන ලද පත්වීම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ඔක්තෝබර් 29 දින ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයට පසුගිය ඔක්තෝම්බර් 10 වනදා සෙල්වින් ඉරේනියස් මරියම්පිල්ලෙයි පත් කරන ලදී. ඊට දින 12කට පසුව, ඔක්තෝබර් 22 වන දින, ඔහුව ඉවත් කොට විනයාගමූර්ති සහදේවන් එම තනතුරට පත් කර ඇත. මෙලෙස ප්‍රධානීන් වෙනස් කිරීම මෙන්ම නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකු පත් කිරීම මැතිවරණ කොමිසම විසින් පනවා ඇති සීමාවන් නොතකා විෂයභාර අමාත්‍යවරයා විසින් අනුමත කර ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය ආයතනවල බඳවා ගැනීම්, පත්වීම්, උසස්වීම් හෝ ස්ථාන මාරු සිදු කළ නොහැකි බව මැතිවරණ නීතියේ මෙන්ම සැප්තැම්බර් 25 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වෙයි. මැතිවරණයක් පැවැත්වෙන සංවේදී කාලසීමාවක් තුළ එම නීතියට අනුගත නොවන ආකාරයට රජය හැසිරීම ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු කරයි.
මෙවැනි පත් කිරීම් හරහා මහජන විශ්වාසය පළුදු විය හැකි අතර මැතිවරණ ක්‍රියාවලියේ සාධාරණත්වයට අභියෝගයක් විය හැකිය. මේ පිළිබඳව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස TISL ආයතනය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.
දේශපාලන පක්ෂග්‍රාහීත්වය සහ අනිසි බලපෑම් වළක්වා ගැනීම සඳහා මහ මැතිවරණය අවසන් වන තුරු රාජ්‍ය ආයතන සඳහා එවැනි පත්වීම් සිදු නොකරන ලෙස TISL ආයතනය රජයෙන් ඉල්ලා සිටියි.
විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා කැපවී සිටින TISL ආයතනය, මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් රාජ්‍ය ආයතන තුළ ආචාරධාර්මික සහ නීතිමය මාර්ගෝපදේශ පිළිපැදීම වෙනුවෙන් දිගටම උද්දේශනය කරනු ලබයි.