Skip links

ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා දූෂණ විරෝධී රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ

ආර්ථිකය යථාවත් කිරීමේ ක්‍රියාවලිය තිරසාර වීමට නම් දූෂණ විරෝධී රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දේශපාලන වුවමනාව සහිතව අව්‍යාජව කටයුතු කිරීමේ වැදගත්කම මෙම ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයේදී අපි අවධාරණය කර සිටිමු.

මේ මොහොතේ අප රට පසුවන්නේ වැදගත් සන්ධිස්ථානයකය. පසුගිය වසරේ පෙර නොවූ විරූ අයුරින් සිදු වූ ජනතා නැඟිටීම තුළ ප්‍රබලව නැඟී ආ ඉල්ලීමක් වූ ‘ක්‍රම වෙනසක්’ වෙනුවෙන් තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම පුරවැසියන් විසින් අපේක්ෂා කරනු ලබයි.

මේ වන විට ගිවිසුම් ගත වී ඇති ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කරා ළඟා වීමට නම්, රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, විසින් ද පැහැදිලි කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් මෑතකදී ශ්‍රී ලංකාව පිළිබඳ රාජ්‍යකරණ විශ්ලේෂණ වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව ද එළි දක්වන ලදී. මෙම වාර්තා දෙකෙහිම රටේ දුර්වල පාලනය සහ මුල් බැසගත් දූෂණය නිසා ඇති වූ ආර්ථික අර්බුදයට එරෙහිව කටයුතු කිරීම සඳහා පුළුල් දූෂණ විරෝධී රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

එම නිසා, රටට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට ඉඩකඩ විවරව ඇති මේ දුර්ලභ මොහොත අපතේ නොයවන ලෙස පුරවැසියන්ගෙන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් “ආර්ථික ප්‍රගමනය උදෙසා වූ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ පිළිබඳ සිවිල් සමාජ එකතුව” ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා ආයතනය නායකත්වය ගෙන පිහිටුවා ඇති මෙම සිවිල් සමාජ එකතුවට නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්), විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය, වෙරිටේ රිසර්ච් ආයතනය සහ ජාතික සාම මණ්ඩලය අයත් වේ.

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට නම්, සිවිල් සමාජය විසින් සහ IMF ආයතනය විසින් හඳුනාගෙන ඇති රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු බව දෙසැම්බර් 9 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව අපි අවධාරණය කරමු. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC) සම්මත කර වසර 20ක් සැපිරීම ද සනිටුහන් කරමින් “UNCAC at 20: Uniting the World Against Corruption” (දූෂණයට එරෙහිව ලොවම එකතු කිරීම) යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමරනු ලබයි.

“රාජ්‍යකරණයේ අසාර්ථක බව නිසා ආර්ථික අර්බුදය ඇති වූ බවට වන අපගේ මතය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා ලබා දුන් ඓතිහාසික තීන්දුවෙන් තහවුරු වුණා. ප්‍රතිපත්ති සම්පාදකයින් මහජන සම්පත්වල භාරකාරයන් ලෙස කටයුතු කිරීමට බැඳී සිටින බවත්, ඉහළ තනතුරු වල සිට තීරණ ගන්නන් මහජන විශ්වාසය තහවුරු කරමින් හා රටේ යහපත ප්‍රමුඛ කොටගෙන ක්‍රියා කළේ නම් අර්බුදය වළක්වා ගත හැකිව තිබූ බවත් අධිකරණය සිය තීන්දුවෙන් අවධාරණය කළා,” නදීෂානි පෙරේරා, විධායක අධ්‍යක්ෂිකා, TISL, පැවසුවාය.

“මිනිසා විසින් නිර්මාණය කරන ලද මෙම අර්බුදයේ සැබෑ වින්දිතයින් වන්නේ රටේ පුරවැසියන්. මේ තීරණාත්මක මොහොතේ අප රටට විශාල ප්‍රමාණයන්ගෙන් ලැබෙන ජාත්‍යන්තර අරමුදල් පුරවැසියන්ගේ ජීවිත නඟා සිටුවීමට යොදා ගන්නා බවට අප වග බලා ගත යුතුයි. එසේ වීමට නම්, ලැබෙන සහන සහ සංවර්ධන අරමුදල් ඒවා වඩාත් අවශ්‍ය තැනට ළඟා වීම වළක්වන දූෂණය සහ දුර්වල පාලනය නැවැත්විය යුතුයි,” ඇය තවදුරටත් පැවසුවාය.

ආර්ථික අර්බුදයත් සමඟ වගවීම සහ ක්‍රම වෙනසක් අපේක්ෂා කළ ජනතා නැගිටීම තුළ පාලකයින් කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීම පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එහෙයින්, ඕනෑම ආර්ථික ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට නම් රජය යළි මහජන විශ්වාසය දිනා ගැනීම වැදගත් වේ. මේ සඳහා, රටට අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමත්, බලය අනිසි ලෙස භාවිතා කරන්නන්ට සහ මහා පරිමාණ දූෂණයේ යෙදෙන්නන්ට දඬුවම් නොදීමේ තත්ත්වය වෙනස් කිරීමට රජයේ කැපවීම ක්‍රියාවෙන් පිළිඹිබු කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, දූෂණයට එරෙහිව පිහිටුවා ඇති ඕනෑම ආයතනයක් සුපිළිපන්න ගුණාංග වලින් හෙබි පුද්ගලයින්ගෙන් සමන්විත විය යුතුයි. ඔවුන් කිසිම ආකාරයකින් බාධා නොකරන ලද ස්වාධීන ක්‍රියාවලියක් හරහා පත් කළ යුතු අතර, පත් වූ පසු ස්වාධීනව හා බියෙන් තොරව ක්‍රියා කිරීමට හැකියාව තිබිය යුතුය.

සිවිල් ක්‍රියාකාරකම් සඳහා හිතකර පරිසරයක් පැවැතීම ආර්ථිකය යථාවත් කිරීමට දරන උත්සාහය වඩා සාර්ථක කර ගැනීමට වැදගත්ය. එවැනි පරිසරයක් තුළ මිනිසුන්ට තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ විරුද්ධ මත නිදහසේ ප්‍රකාශ කිරීමට හැකියාව ඇත.

කෙසේ වෙතත්, ආණ්ඩුවේ හැසිරීම තුළින් අප දකින්නේ මහජන අදහස් දැක්වීම දරුණු ලෙස යටපත් කිරීමත්, විරුද්ධ මත දරන්නන් බිය ගැන්වීම සහ ඔවුන්ට හිරිහැර කිරීම ආදියයි. එපමණක් නොව, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර තිබිය යුතු බල තුලනය නොසලකා හැරීම, සහ මිනිසුන්ගේ නිදහස සීමා කරන පීඩාකාරී නීති ගෙන ඒමට උත්සාහ දරන ආකාරයද අප දැක ඇත. මෙම හැසිරීම් සියලු ආකාරයේ සිවිල් ක්‍රියාකාරකම් සඳහා ඉතා හානිකර ලෙස බලපායි.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සිවිල් අවකාශය සුරැකීමටත්, විනිවිදභාවය සහ වගකීම් සහගත පාලනයක් ඇති කිරීමටත්, සාධාරණ සහ තිරසාර ආර්ථික ප්‍රගමනයක් ළඟා කර ගැනීමටත්, තම කැපවීම ප්‍රදර්ශනය කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමු. හුදු වචනවලින් සහ පොරොන්දුවලින් ඔබ්බට ගොස් රාජ්‍යකරණ විශ්ලේෂණ වාර්තාවන්හි දක්වා ඇති ප්‍රතිසංස්කරණ සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීම මේ සඳහා අවශ්‍ය වේ.

සැබෑ ක්‍රම වෙනසක් වෙනුවෙන් ඔබගේ කැපවීම වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් ඔප්පු කරන ලෙස අපි පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ගෙන්ද ඉල්ලා සිටින්නෙමු. අප රටට ණය සහ පරිත්‍යාග ලබා දෙන ජාත්‍යන්තර හා විදෙස් පාර්ශවයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ඔබේ අරමුදල් ඒවා ලබා දී ඇති අරමුණු වෙනුවෙන් යොදවන බව සහතික කිරීම සඳහා රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ ඇති කිරීම කෙරෙහි දිගටම බලපෑම් කරන ලෙසයි. ආර්ථිකය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේ අනිවාර්ය සාධකයක් ලෙස රාජ්‍යකරණ සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Leave a comment

This website uses cookies to improve your web experience.