Skip links

ආර්ථිකය යළි ගොඩනැගීමට අත්‍යාවශ්‍ය දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණවල ප්‍රගතියක් නොමැතිවීම පිළිබඳව රටේ ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන සිය අවධානය යොමු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ මාස 48ක කාලයකට ඇති කර ගත් විස්තීරණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය පසුගිය සතියේ අවසන් කර, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් (Special Drawing Rights) යටතේ මිලියන 254ක් (ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් පමණ) ලබා දීමට එකඟතාවය පළ කළ කිරීම පිළිබඳව “ආර්ථික ප්‍රගමනය උදෙසා වූ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ පිළිබඳ සිවිල් සමාජ එකතුව” ලෙස අපි අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා ආයතනය නායකත්වය ගෙන පිහිටුවා ඇති මෙම සිවිල් සමාජ එකතුවේ මූලික කණ්ඩායමට නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්), විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය, වෙරිටේ රිසර්ච් ආයතනය සහ ජාතික සාම මණ්ඩලය අයත් වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා රාජ්‍යකරණයට සහ දූෂණයට එරෙහි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව සිවිල් සමාජ එකතුවේ මූලික කණ්ඩායම ලෙස අපි නැවත මතක් කර සිටිමු. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන එකතුව මෙන්ම IMF ආයතනය විසින්ද නිකුත් කර ඇති රාජ්‍යකරණ විශ්ලේෂණ වාර්තාවන්හි ද මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දී ඇත. මෙම ප්‍රතිසංස්කරණවලට ප්‍රමාණවත් ප්‍රමුඛතාවයක් ලබා නොදෙන්නේ නම් ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාව නැවතත් ණය අර්බුදයකට ලක් වීමට ඉඩ ඇත.

IMF ආයතනය ශ්‍රී ලංකාව සමඟ ගෙන යන වැඩසටහනේ රාජ්‍යකරණයේ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම පිළිබඳව සිවිල් සමාජ සංවිධාන ප්‍රසාදය පළ කරයි. කෙසේ වෙතත්, සිවිල් සමාජ සංවිධාන පෙන්වා දෙන්නේ වත්මන් IMF වැඩසටහනෙහි සඳහන් විනිවිදභාවය සහ දූෂණ විරෝධය සම්බන්ධයෙන් වන මූලික එකඟතාවයන් පවා ක්‍රියාත්මක කිරීමට රජය තවමත් අපොහොසත් වී ඇති බවයි.

උදාහරණයක් ලෙස, මහා පරිමාණ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු සහ විවිධ නීති හරහා බදු නිදහස් කිරීම් ලබන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මාර්ගගත වේදිකාවක් ඔස්සේ 2023 මාර්තු මස අවසානය වන විට ප්‍රකාශයට පත් කිරීමට රජය IMF වැඩසටහන යටතේ එකඟ වී ඇති නමුත් මේ වන තෙක් එය ඉටු කර නැත. නව දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීම ඇතුළුව එකඟ වී ඇති දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී සහ ඒවා නිසි පරිදි ව්‍යුහගත කර ගැනීමේදී රජය ඉතා මන්දගාමී සහ අසම්පූර්ණ වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සිය ලේඛනවල සඳහන් කර ඇත. IMF ආයතනය මෙම ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාකාරකම් වලින් කිහිපයක් “ව්‍යුහාත්මක මිණුම්” ලෙස නැවත වර්ගීකරණය කර ඇත.

IMF වැඩපිළිවෙල තුළ අවස්ථාවක් ලැබෙන්නේ නම්, එකඟ වී ඇති දූෂණ විරෝධී ක්‍රියාකාරකම් නොතකා හැරීමට හෝ ඒවා නිසි පරිදි ඉටු නොකිරීමට රජය පෙළඹෙන බව මේ තුළින් අපට පෙනී යන කරුණයි. රජය විසින් එකඟ වී ඇති ක්‍රියාකරකම් “පූර්ව ක්‍රියා” (Prior Actions) හෝ “ව්‍යුහාත්මක මිණුම්” (Structural Benchmarks) ලෙස IMF ආයතනය මගින් නැවත වර්ගීකරණය කර ඇති ආකාරය ගැටළු සහගත වේ. මෙම වර්ගීකරණයේදී, රාජ්‍යකරණයට අදාළ මේ වන තෙක් ඉටු නොකළ ක්‍රියාමාර්ග කිහිපයක් ව්‍යුහාත්මක මිණුම් ලෙස දක්වා ඇත. මාස 6කට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති මෙම ක්‍රියාකරකම්, පූර්ව ක්‍රියා ලෙස වර්ගීකරණය කළා නම් කඩිනමින් ඉටු කල යුතුව තිබූ ප්‍රතිසංස්කරණ, සම්පූර්ණ කළ යුතු බව රජයට දැන්වීමට ලද අවස්ථාව මේ නිසා මග හැරී තිබේ.

ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් රජය විසින් මේ මොහොතේ තීරණාත්මක තීරණ ගනු ලබමින් සිටියි. ඒ නිසා, සිවිල් සමාජ එකතුවේ මූලික කණ්ඩායම ලෙස අප රජයෙන් ඉල්ලා සිටින්නේ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රයට සහයෝගය නොදෙන පසුගාමී ප්‍රවේශය පිළිබඳව නැවත සිතා බලන ලෙසයි. එමෙන්ම, අප IMF ආයතනය වෙතින් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාව සමඟ ඇති වැඩසටහන සමාලෝචනයෙන් පසු දීර්ඝ කිරීමේදී, මෙතෙක් ඉටු නොකළ ක්‍රියා ඇත්නම් ඒවා පූර්ව ක්‍රියා ලෙස වර්ගීකරණය නොකිරීමත්, සියලුම වැදගත් දූෂණ විරෝධී ක්‍රියාකාරකම් ව්‍යුහාත්මක මිණුම් ඉලක්ක ලෙස වර්ගීකරණය නොකිරීමත් නිසා ඇති වන ප්‍රතිවිපාක පිළිබඳව සලකා බලන ලෙසයි.

IMF ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍යකරණ විශ්ලේෂණ වාර්තාව සහ එහි දැක්වෙන ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාකාරකම් සියල්ල IMF වැඩසටහනට ඉදිරියේදී ඇතුළත් කිරීමට IMF ආයතනය දක්වන උනන්දුව සම්බන්ධයෙන් සිවිල් සමාජ එකතුවේ මූලික කණ්ඩායම සතුට පළ කරයි. මේ වන විට රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇත්තේ සීමිත ප්‍රගතියක් පමණි. එනිසා, අප රජයෙන් ඉල්ලා සිටින්නේ, හුදෙක් බාහිර බලපෑම් නිසාම පමණක් නොව,මහජන නියෝජිතයන් ලෙස සද්භාවයෙන් රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි.

Leave a comment

This website uses cookies to improve your web experience.