ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් සංවිධානය කළ ‘ඉන්ටග්‍රිටි අයිකන් ශ්‍රී ලංකා 2022/23’ (සුපිළිපන් ප්‍රණාම) අවසන් මහා තරගය අගෝස්තු 17 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි. සිය වෘත්තීය කටයුතු වලදී ආදර්ශමත් සුපිළිපන්නභාවයක්, සුවිශේෂී කැපවීමක් සහ ශක්තිමත් ආචාරධර්ම විදහා දක්වන සිවිල් සේවකයින් අභිෂේක ගැන්වීම සඳහා මෙම අවස්ථාව යොදා ගැනුණි.
ජනතා සේවය සිය ප්‍රමුඛතාවය කොට ගත් අවංක රාජ්‍ය නිලධාරීන්ට නිසි පිළිගැනීමක් ලබා දීමට, TISL ආයතනය ‘Accountability Lab’ යන ගෝලීය සංවිධානය සමඟ අත්වැල් බැඳගනිමින් මෙම වැඩසටහන අඛණ්ඩව පස්වන වසරටත් සංවිධානය කළේය.
2014 වසරේ නේපාලයේ ආරම්භ වූ ‘ඉන්ටග්‍රිටි අයිකන්’ වැඩසටහන, මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 15ක ව්‍යාප්ත වී ඇත.
මෙම අවස්ථාවෙහිදී, කැපී පෙනෙන සුපිළිපන් ගුණාංග වලින් සපිරි පහත නම් සඳහන් රාජ්‍ය නිලධාරීන් පස් දෙනාට ‘ඉන්ටග්‍රිටි අයිකන්’ යන ගෞරව නාමය පිරිනමන ලදී.
- සුබාජිනී මදියලගන්- ප්‍රාදේශීය ලේකම් – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වලිකාමම් නැගෙනහිර, කෝපායි.
- විජේවර්ධන අබේවික්‍රම නිශ්ශංක- වෛද්‍ය අධිකාරී – රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහල සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, නුවර එළිය.
- යසෝතා උදයකුමාර්- ප්‍රාදේශීය ලේකම් – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වලිකාමම්-නිරිත, සන්දිලිපායි.
- ප්‍රතිභානි ශ්‍රී විජයන්ති මොල්ලිගොඩ- හෙද නිලධාරිනී – මූලික රෝහල, ඇල්පිටිය.
- නලින් ප්‍රසන්න විජේසේකර- අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, අම්බලන්ගොඩ.
මෙම සුවිශේෂී පුද්ගලයින්ට සමරු ඵලක ප්‍රදානය කරන ලද අතර, ඔවුන් සිය අත්දැකීම් බෙදාහදා ගැනීම මඟින් පැමිණ සිටි පිරිසට අභිප්‍රේරණයක් ඇති කරන ලදී. අවසන් 12 දෙනා අතරට තේරී පත්වූ සියලු දෙනාට ඔවුන්ගේ කැපවීම සහ සමාජ දායකත්වය අගයමින් සහතිකපත් ප්‍රදානය කරන ලදී.
රජයේ සේවයේ ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරීන් වන ඔස්ටින් ප්‍රනාන්දු සහ එස්.තිල්ලෙයි නඩරාජා, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, සාමය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනී ශ්‍රීන් සරූර් සහ ශ්‍රී ලංකා ආසියානු පදනමේ යුක්තිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැඩසටහන් අධ්‍යක්ෂිකා රමණි ජයසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ගෞරවනීය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්, මාස හතක කාලයක් පුරා ඉතා සැළකිලිමත්ව කරන ලද පූර්ණ අධ්‍යයනයකින් සහ මුහුණට මුහුණ මෙන්ම මාර්ගස්ථ ක්‍රමයට පැවැති සම්මුඛ සාකච්ඡා වලින් පසුව ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී.
සම්මාන සඳහා තෝරා ගැනීමේදී, ඔවුන්ගේ ජයග්‍රහණ සහ කැපකිරීම්, අභියෝග වලට සාර්ථකව මුහුණ දුන් ආකාරය මෙන්ම සමාජයට සිදු කර ඇති ධනාත්මක බලපෑම් ද සලකා බලන ලදී. ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා පුද්ගලික, වෘත්තීය සහ සමාජීය බාධා මඟ හැර කටයුතු කිරීමට ඔවුන්ට ඇති හැකියාව, සහ සමාජ යහපැවැත්ම සඳහා ඔවුන් මූලිකවී කරන ලද ක්‍රියාකාරකම් ආදිය, ඇගයුම් ක්‍රියාවලියේදී යොදා ගත් නිර්ණායක අතර විය.
රාජ්‍ය සේවයේ වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, විශ්‍රාම යාමට අවම වශයෙන් තවත් වසර 5 ක සේවා කාලයක් සහිත රාජ්‍ය අංශයේ පූර්ණ කාලීන සේවකයින්ට මෙම සම්මාන සඳහා අයදුම් කළ හැකි විය. වඩා සුදුසු අයදුම්කරුවන් එක් කර ගැනීමේ අරමුණින්, තුන්වන පාර්ශ්වයන් විසින් භාර දෙන නාම යෝජනා මෙන්ම ස්වයං නාම යෝජනා ද පිළිගන්නා ලදී.
සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වත්මන් මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතා සහභාගී විය.
රැස්ව සිටි පිරිස අමතමින් ඔහු, සුපිළිපන්නභාවය යහපත් පාලනයක ප්‍රධාන ලක්ෂණයක් වන බවත්, ‘ඉන්ටග්‍රිටි අයිකන්’ වැනි වැඩසටහන් අපගේ ජාතියේ ප්‍රගතිය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් අවධාරනය කළේය. “සදාචාරාත්මක බවින් හෙබි නායකත්වය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු දනවන මෙම ආදර්ශවත් රාජ්‍ය සේවකයින් දැකීමට ලැබීම සතුටට කරුණකි. විනිවිදභාවය සහ මහජන සේවය සඳහා ඔවුන්ගේ කැපවීම, අප සැමට උත්තේජනයක් සපයයි,” ඔහු පැවසීය.
එහිදී අදහස් දැක්වූ TISL ආයතනයෙහි විධායක අධ්‍යක්ෂිකා නදිශානි පෙරේරා මහත්මිය මෙම උත්සවයේ වැදගත්කම පෙන්වා දෙමින් මෙසේ පැවසුවාය. “ඉන්ටග්‍රිටි අයිකන් සම්මානලාභීන් සමාජ පරිවර්තනයකට අවශ්‍ය වන සදාචාරාත්මක නායකත්වයේ බලය පිළිබඳ අපට සාක්ෂි සපයයි. මෙම කැපවීමෙන් යුතු රාජ්‍ය නිලධාරීන් පෙන්නුම් කරන්නේ සැබෑ මහජන සේවය, සුපිළිපන්නබව සමඟ එකිනෙකට බද්ධ වී ඇති බවයි. ඔවුන්ගේ ජයග්‍රහණ සමරන මේ මොහොතේ, ඔවුන්ගෙන් සමාජයට පුළුල් බලපෑමක් සිදු වන බව, එනම් දූෂණයෙන් තොර දීප්තිමත් අනාගතයකට මග පාදන බව, අපි මතක තබා ගනිමු.”
TISL ආයතනයෙහි විශේෂ උත්සාහයක් වන ‘ඉන්ටග්‍රිටි අයිකන්’ වැඩසටහන, සුපිළිපන්නභාවය රැකීමට කැපවී සිටින රාජ්‍ය නිලධාරීන් දිරිමත් කිරීමටත්, ඔවුන්ගේ දූෂණයට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම රාජකාරිය නොසැලෙන අවංකභාවයෙන් ඉටු කිරීමට ඇති හැකියාව වර්ධනය කිරීමටත් උත්සාහ කරයි.
මෙම වැඩසටහන තුලින් අපගේ අරමුණ වනුයේ, රාජ්‍ය සේවය තුළ පුරවැසියන් දැකීමට බලාපොරොත්තු වන වෙනස පිළිබඳව ජාතික සංවාදයක් ඇති කිරීමටත්, එමගින් ශ්‍රී ලංකාව තුල වඩාත් විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම පාලන පද්ධතියක් ඇති කිරීමට දායක වීමටත්ය. මෙම වැඩසටහන තුලින් ජයග්‍රාහකයින් ආදර්ශමත් පුද්ගලයන් ලෙස පිළිගැනීම සහ ප්‍රවර්ධනය සිදුවන බැවින්, හෘද සාක්ෂියට එකඟ අනාගත නායකයින් උත්තේජනය කිරීමක්ද සිදු වේ.