Skip links

පුද්ගලික අංශයේ දූෂණය පිටු දැකීමට Business Integrity Club

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සතු සමාගම්හි සුපිළිපන්නභාවය සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද Business Integrity Club (BIC) ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ (TISL) නවමු සංකල්පයකි. එහි පළමු කාර්තුමය රැස්වීම පසුගිය සතියේ කොළඹදී සාර්ථකව පවත්වන ලදී.

දූෂණයට එරෙහිව සටන් කිරීම සහ පුද්ගලික අංශයේ ආයතන අතර සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු දැක්මක් සහ මෙහෙවරක් අනුගමනය කරමින් සාමූහික ක්‍රියාකාරකම් සිදු කිරීම BICහි බලාපොරොත්තුව වේ. 2024 ජූලි මාසයේ BIC ආරම්භ වූ තැන් සිට ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ සමාගම් අතර එය සැලකිය යුතු අවධානයක් දිනා ගෙන ඇත.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු සහ ආයතනික නීති උපදේශකයෙකු වන මලික් කාදර් මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම රැස්වීමට එක් විය. ඔහු “ශ්‍රී ලංකාවේ නියාමන ක්‍රියාවලිය – දූෂණ විරෝධී පනතේ ඇඟවුම් සහ ප්‍රාග්ධන වෙළඳපොළ අධීක්‍ෂණය” යන තේමාවෙන් දේශනයක් පැවැත්වීය.

BICහි සාමාජිකයින් දෙදෙනෙකු වන හැටන් නැෂනල් බැංකුවේ කුසලතා කළමනාකරණය සහ අනුකූලතා (Talent Management and Compliance) පිළිබඳ විධායක හසිත ප්‍රනාන්දු සහ ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ අවදානම සහ අනුකූලතාව (Group Risk and Compliance) පිළිබඳ කළමනාකාර තිළිණි වීරසිංහ ඔවුන්ට අදාළ ක්ෂේත්‍ර තුළ පවතින දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ගේ අත්දැකීම් විස්තර කළහ.

සුහද හමුවක් සමඟින් පැවති මෙම රැස්වීමට සමාගම් 20 ක නියෝජිතයින් සහභාගී විය.

මෙම ජාලයේ කොටස්කරුවෙකු වී ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සුපිළිපන්නභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා සාමූහික ක්‍රියාකාරකම් වල නියැලීමට ඔබ කැමැති නම්, BICහි සාමාජිකත්වය සඳහා දැන්ම අයදුම් කරන්න: https://forms.office.com/e/ZY5FAhNFcj

Leave a comment

This website uses cookies to improve your web experience.