ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් වයඹ පළාත් සභාවේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා “යහපාලනය සහ සුපිළිපන්න බව” යන තේමාව යටතේ නේවාසික පුහුණු වැඩසටහනක් මැයි 2-4 දක්වා රත්මලානේදී පවත්වන ලදී. වයඹ පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කරමින් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන සඳහා 20කට අධික පිරිසකගේ සක්‍රීය සහභාගීත්වය ලැබුණි.
එම පුහුණුවේදී රාජ්‍ය සේවය තුළ සුපිළිපන්නභාවය පවත්වා ගැනීම පිළිබඳව උදාහරණ සහිතව සාකච්ඡා කෙරිණි. ‘දූෂණය සහ එහි ප්‍රතිවිපාක’ යන මාතෘකාව යටතේ TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා දේශනයක් පැවැත්වූ අතර, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පියතිස්ස රණසිංහ සහ ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂඥයෙකු වන අනුර ලොකුගමගේ පිළිවෙලින් ‘රාජ්‍ය සේවය තුළ සුපිළිපන්නභාවය ඇති කිරීමේ අභියෝග සහ අවස්ථා’ සහ ‘දූෂණය අවම කිරීමේ උපායමාර්ගයක් ලෙස විවෘත කොන්ත්‍රාත් ක්‍රමය යොදා ගැනීම’ පිළිබඳව දේශන සිදු කළහ.
‘ඉන්ටග්‍රිටි අයිකන් ශ්‍රී ලංකා’ (සුපිළිපන් ප්රණාම) සම්මානලාභීන් වන හිමාලි රත්නවීර, (අධ්යක්ෂ, ආර්ථික කටයුතු- විශේෂ ව්‍යාපෘති සහ තාක්ෂණික සහයෝගිතාව, විදේශ කටයුතු අමාත්‍යාංශය), සහ ප්‍රතිභානි මොල්ලිගොඩ, (හෙද සොහොයුරිය, ඇල්පිටිය මූලික රෝහල) දූෂණයට එරෙහිව සටන් කිරීම සහ සුපිළිපන්න බව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අත්දැකීම් පැමිණ සිටි පිරිස සමඟ බෙදාහදා ගත්හ.
මේ වන විට පළ කර ඇති රාජ්‍යකරණ විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳව මෙන්ම පොදු දේපළ අවභාවිතය සහ දූෂණය අවම කිරීම සඳහා මෙවලම් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය සහ නව දූෂණ විරෝධී පනත භාවිතා කිරීම පිළිබඳව මෙහිදී පැමිණ සිටි පිරිස දැනුම්වත් කරන ලදී.