ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් සංවිධානය කළ “සහභාගීත්ව පාලනය සහ වගවීම පිළිබඳ බහු පාර්ශ්වීය සාකච්ඡාව” 2023 ඔක්තෝම්බර් මස 4 සහ 5 වන දිනවල කොළඹ දී ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.
මෙම උත්සවයේ මූලික අරමුණ වූයේ තීරණ ගැනීමේදී මහජන සහභාගීත්වයේ වැදගත්කම සහ එය වටා ඇති අභියෝග පිළිබඳව පළාත් පාලන ආයතන, පුරවැසියන් සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු විවිධ පාර්ශවකරුවන් අතර ඵලදායී සුහද හමුවකට පහසුකම් සැලසීමයි. එමෙන්ම, සහභාගිත්ව පාලනය, අයවැයකරණය, සහ ප්රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ පුහුණුවක්ද මෙම වැඩමුළුවෙදී ලබා දෙන ලදී.
ධර්මසිරි නානායක්කාර, හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් (බස්නාහිර පළාත), විසින් මෙහෙයවන ලද සාකච්ඡා මණ්ඩපයකට සහභාගී වූ නිරූපා මානගේ, පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් (දකුණු පළාත), පළාත් පාලන ආයතන 10 ක ලේකම්වරුන් සහ පරිපාලන නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්, ඔවුන්ගේ අදහස් සහ අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී. මෙහිදී පාලනයේ විනිවිදභාවය සහ තීරණ ගැනීමේදී සියලු දෙනා සහභාගී කරවා ගැනීම යනාදිය පිළිබඳව අර්ථවත් සාකච්ඡාවකට ඉඩ සැලසුනි.
ප්රගාමී තොරතුරු අනාවරණය ප්‍රවර්ධනය කිරීම සඳහා අකුරැස්ස, දික්වැල්ල, බෙන්තොට, බෙලිඅත්ත, කරන්දෙණිය සහ නෙලුව ප්‍රාදේශීය සභා වෙනුවෙන් TISL ආයතනයේ සහයෝගය ඇතිව නිර්මාණය කළ වෙබ් අඩවි දියත් කිරීම සහ අදාළ පළාත් පාලන ආයතන වෙත ඒවා භාරදීම මෙම අවස්ථාවේදී සිදු විය. එම වෙබ් අඩවි පවත්වා ගෙන යාම සහ යාවත්කාලීන කිරීම පිළිබඳ පුහුණුවක්ද ඔවුන් වෙත ලබා දෙන ලදී.